ඉංගිරියේ ඕ.අයි.සීට මාරුවක්

ඉංගිරිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්ම වන පරිදි මාන්කුලම් කොට්ඨාසය වෙත මාරුකර යවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේ රිය අනතුරකට අදාළව විධිමත් විමර්ශනයක් සිදු නොකිරීම හේතුවෙන් අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරුව ලබා දී ඇති බවයි.


ඒ අනුව ඉංගිරිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර මහතා සම්බන්ධයෙන් වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව අජිත් රෝහණ මහතා කියා සිටියේය.


පසුගිය 10 වන දින ඉංගිරිය ප්‍රදේශයේ දී පොලිස් කැබ් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් තරුණයෙකු මියගිය අතර තවත් අයෙකු එහිදි බරපතළ තුවාල ලැබුවේය.


එම සිද්ධිය වසන් කිරීම සම්බන්ධයෙන් ඉංගිරිය පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු, කොස්තාපල් රියදුරෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.


එමෙන්ම එම නිලධාරීන්ගේ සේවය අත්හිටුවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.



Post a Comment