අදත් හෙටත් තැපෑලෙන් ඡන්දය දෙන්න 30,657ක්

ඌව පළාත් සභා ජන්ද විමසීමට අදාළව තැපැල් ජන්ද සළකුණු කිරීම අද (04) හා හෙට (05) සිදු කෙරේ.

මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ රාජ්‍ය ආයතන රැසක දී ඌව පළාත් සභා ජන්ද විමසීමට අදාළ තැපැල් ජන්ද විමසීමේ කටයුතු සිදුවන බවයි.


මෙවර ඌව පළාත් සභා ජන්ද විමසීමට අදාළව රාජ්‍ය සේවකයින් 30,657 දෙනෙකු තැපෑලෙන් ජන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිති.


19,985 දෙනෙකු බදුල්ල දිස්ත්‍රික්කයෙන් සහ 10,672 දෙනෙකු මොණරාගල දිස්ත්‍රික්කයෙන් තැපැල් ජන්ද ප්‍රකාශ කිරීමට නියමිතය.


තැපැල් ජන්ද මධ්‍යස්ථාන වල අපේක්ෂකයින්ගේ හෝ තරඟ කරන දේශපාලන පක්ෂ වල ප්‍රචාරක දැන්වීම් ප්‍රකශ කිරීම, අත්පත්‍රිකා බෙදීම ඇතුළු සියලු ප්‍රචාරක කටයුතු සම්පුර්ණයෙන් තහනම් කර ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.


මේ අතර තැපැල් ජන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.


පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ තෝරාගත් මධ්‍යස්ථාන සඳහා සිය නිරීක්ෂණ නිලධාරීන් යෙදවීමට බලාපොරොත්තු වන බවයි.



Post a Comment