අලුත්ගම ගැටුම - මූලික අයිතිවාසිකම් පෙත්සම් 2ක් විභාගයට

අලුත්ගම ප්‍රදේශයේ මෑතකදී හටගත් උණුසුම්කාරී තත්ත්වය අතරතුර ඇති වු සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් 02 ක් අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනිණ.

කේ.ශ්‍රී පවන්, බුවනෙක අළුවිහාරේ සහ ප්‍රියන්ත ජයවර්ධන යන ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම් විභාගයට ගත් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.


එහිදි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේ පෙත්සම් 02 මගින් එක්තරා සංවිධානයක් පිළිබඳ සඳහන් කර ඇතත් එම සංවිධානයෙන් පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ කුමක් ද යන්න පිළිබඳව සඳහන් කර නොමැති බවයි.


කෙසේවෙතත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පැවසුවේ ඔවුන්ට කිසිදු සංවිධානයකට විරුද්ධ වීමට අවශ්‍යතාවක් නොපවතින බවයි.


පසුගිය ජුනි මාසයේ දී අලුත්ගම ප්‍රදේශයේ හටගත් උණුසුම්කාරී වාතාවරණය අතරතුර තම නිවෙස් වලට ගිනි තබන අයුරු පොලිසිය නිහඬව බලා සිටීම පිළිබඳ කනගාටුවෙන් පසුවන බව පෙත්සම්කරුවන් පවසා ඇත.


මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 05ක් ඉදිරිපත් වී ඇති හෙයින් ඒ සියලු පෙත්සම් ඔක්තෝබර් මස 17 වනදා යළි කැඳවීමට අධිකරණය තීරණය කර තිබේ.



Post a Comment