කුණු ආහාර පාටිය නිසා 400 ක්‌ ලෙඩ වුණේ මෙහෙමයි

"ෆ්‍රයිඩ් රයිස්‌ එක්‌ක කුකුළු මසුත් කෑවා ටැප් එක ඇරියා වගේ යන්න පටන් ගත්තා"
තවත් නව වසරක්‌ උදා විය. නව වසර පිළිගැනීමට මෙන්ම පරණ අවුරුද්දට සමුදීමට මුළු ලෝකයම සැණකෙළි සිරියක්‌ ගෙන තිබිණි. අපේ රටේ ද එසේය. පූජනීය ස්‌ථානවල පිංකම් පැවැත්වූහ. විවිධ ආයතනවල සතුටු සාද පැවැත්වූහ. තරු හෝටලයේ සිට ගමේ ගොඩේත් මිනිස්‌සු ප්‍රීති ප්‍රමෝදයෙන් නව වසර පිළිගත්හ. වෙනත් අවුරුදු උදාවන්වලදී සේම 2014 පළමු දිනයම අඵලයක්‌ කර ගත් මිනිස්‌සු ද ඒ අතර සිටිති.

හොරණ, පාදුක්‌ක සහ දංකොටුව ඇඟලුම් කර්මාන්තශාලා තුනක ද අවුරුදු සාද අවසාන වූයේ රෝහලෙනි. කෑම විස වී සතුටු සාදය ලෙඩ ගොඩක්‌ විය. ඇතැම් සේවකයන් ක්‌ලාන්ත ගතියෙන් වැටෙද්දී, ඇතැම්හු උදරය අල්ලාගෙන වේදනාවෙන් කෑමොර දුන්හ. අවුරුදු සාද උත්සව දහවල් කෑමෙන් පසු වමනයෙන් නැහැවී ගියේය. අවසානයේ එම ආයතන තුනේ සාදයට පැමිණ සිටි සේවක සේවිකාවන් හාරසීයක්‌ පමණ රෝහල්ගත කළහ.

පාදුක්‌ක ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කෑම විස වූ සේවකයන් එකසියපනහක්‌ පමණ පාදුක්‌ක -හෝමාගම රෝහල්වලට ඇතුළත් කර තිබිණි. හොරණ බොරලුගොඩ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලේ සේවක-සේවිකාවන් දෙසීයක්‌ පමණ බඩ ලෙඩ වී හොරණ රෝහලට ඇතුළත් කෙරිණි. එමෙන්ම දංකොටුව බුඡ්ජම්පොල කර්මාන්තපුරයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක කෑම විස වූ සේවකයන් තිස්‌හය දෙනකු දංකොටුව රෝහලේ බාහිර රෝගී අංශයට පැමිණ තිබිණි.


කෑම විස වූ වැඩි පිරිසක්‌ සේවිකාවන්ය. එහෙත් ඔවුන්ගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බවත්, හිස රුදාව, උදරාබාධ සහ ක්‌ලාන්ත ගතියෙන් පෙළෙන බවත් රෝහල් ආරංචි මාර්ග පැවසූහ.

මේ ඇඟලුම් කර්මාන්තශාලා තුනේම ප්‍රධාන ශාඛාව පිහිටා ඇතතේ මහරගමය. එම ප්‍රධාන ආයතනයේ සෑම ඇඟලුම් කර්මාන්තශාලාවකටම කෑම සපයන්නේ මහරගම ප්‍රදේශයේ සැපයුම්කරුවෙකි. ලෙඩ වූ අවුරුදු සාදයට කෑම සපයා ඇත්තේ ද එම සැපයුම්කරුවාමය.

අවුරුද්දේ පළමු දිනයේම බඩ ලෙඩ කර ගත් කිහිප දෙනෙක්‌ම අප සමග කතා කළේය. ඔවුන් අතරින් හොරණ පෝරුවදණ්‌ඩ ප්‍රදේශයේ කාන්තාවක්‌ බඩේ ලෙඩේට හේතුව මෙසේ විස්‌තර කළාය.

"පළවෙනිදා දවල් කෑමට තිබුණේ ෆ්‍රයිඩ් රයිස්‌, කකුළු මසුයි, පරිප්පුයි එළවළුයි. ඒ කෑම කනකොටත් අමුතු රසක්‌ ආවා. මස්‌වලින් පල් රසක්‌ දැනුණා. එළවළු පිළිණු වෙලා වගේ තිබුණේ. තෙල් නිසා ඒක හරියට දැනුනේ නැහැ. මම නම් මස්‌ කෑල්ල පැත්තකට කළා. බඩ ගිනි නිසා බත් පොඩ්ඩක්‌ කෑවා. ඒත් කාලා ටිකක්‌ වෙලා යනකොට බඩ ඇතුළෙ චොර... චොර... ගාන්න පටන් ගත්තා. සමහර ළමයි වමනෙ දැම්මා. සමහර අය ටොයිලට්‌වලට දිව්වා. ටික වේලාවක්‌ යනකොට ළමයි එක එක්‌කෙනා කලන්තේ දාලා වැටුණා. ඊට පස්‌සේ තමයි ළමයින්ව ඉස්‌පිරිතාලවලට ගෙනිච්ෙච්. මට නම් එච්චර අමාරුවක්‌ වුණේ නැහැ. පත්තරේට නම දාන්නෙ නැත්තම් කියන්න තව විස්‌තර තියෙනවා"

කියන්න තියෙන දේ කියන්න. ඔයා කියනවා නම් නම නොදා ඉන්නම්... ඇයගේ සිතේ තියෙන දේ දැන ගැනීමේ අටියෙන් අපි ඇයට එසේ කීවෙමු.

"අපි දුප්පත්කමට ගාමන්ට්‌වල වැඩ කරනවා තමයි. ඒත් අපිට සලකන්නේ සත්තුන්ට වගේ. නොකර ඉන්න බැරිකමට උදේ දවල්ට කෑම දෙනවා. ඒ සතෙකුටවත් කන්න බැහැ. මීට ඉස්‌සරත් අපේ පැට්‌රියේ කෑම කාලා සමහර ළමයින්ට බඩේ අමාරු හැදිලා තියෙනවා. බෙහෙත් අරගත්තට පස්‌සේ ඇරිලා යනවා. ආයතනය ඇට කැඩෙනකම් අපෙන් වැඩ ගන්නවා. ඒත් අපිට සේවයක්‌ නැහැ... කතා කරලා වැඩක්‌ නැහැ. දැන් ගොඩක්‌ ළමයි ගාමන්ට්‌වලට යන්නේ නැත්තේ ඔය හේතුව නිසයි. කරන්න දෙයක්‌ නැතිම කෙල්ලෙක්‌ තමයි ගාමන්ට්‌ එකක වැඩට යන්නේ..."

නම නොකියන සන්නාලියගේ කතාව එවැන්නකි. අප සමග කතා කළ අනෙකුත් සේවක-සේවිකාවන් කීවේ ද ඇයගේ කතාවට සමාන කතාය. කඳුළුවලින් වියන ඔවුන්ගේ ජීවිත ගැන වෙනත් දවසක කතා කිරීමේ අදහසින් අපි නැවත ලෙඩ ගොඩක්‌ කළ අවුරුදු සාදයට ගියෙමු.

මෙම ඇඟලුම් ආයතනවලට කෑම සැපයු සැපයුම් ආයතනය තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා යන මහත්වරු විසින් විස කෑම ගැන පරීක්‍ෂණ කර ඇත. එම පරීක්‍ෂණවලදී තහවුරු වී ඇත්තේ සාදයේ දහවල් කෑම වේලට ලබා දී ඇති කුකුළු මස්‌වල අඩංගුව තිබූ කිසියම් ක්‍ෂුද්‍ර ජීවීන් හෝ විස ද්‍රව්‍යයක්‌ නිසා මෙම ආහාර පාන විස වී ඇති බවය.

සිද්ධිය පෙළ ගැසෙන්නේ එසේය. කල් ඉකුත් වූ ආහාර තොග වෙළෙඳපොළේ විකිණීමට තිබියදී සෞඛ්‍ය අංශ විසින් අත්අඩංගුවට ගත් අවස්‌ථා රැසක්‌ම පසුගිය කාලයේ වාර්තා විය. කොළඹ මරදාන ප්‍රදේශයේ නීති විරෝධී අන්දමින් පවත්වාගෙන ගිය ආහාර නිෂ්පාදනාගාරයක්‌ද පසුගියදා වැටලුවේය. රට හැම තැනම කූට වෙළෙඳුන්ය.

එහෙත් වෙළෙඳපොළේ විකිණීමට ඇති මෙවැනි කුණු ආහාර කෑමට ගෙන ලෙඩ වෙන්නට මිනිස්‌සු කැමති නැත. ඒ නිසා වැඩි මිලක්‌ ගෙවා හෝ මිනිස්‌සු ගන්නේ පිරිසිදු අලුත් ආහාරය. කුණු වෙච්ච, පල් වුණු ආහාර තොග පිටින් ගෙන යන්නේ ආහාර සපයන ආයතනය. ඔවුන් එම ආහාර තම ගෙදර උදවියගේ කෑමට ගන්නේ නැත. ඒ ආහාරවලින් පිසින කෑම තම ආපන ශාලාවේ විකුණයි. එසේ නොමැතිනම් ආයතනවල සේවකයන්ට ලබා දෙයි. අඩු මිලට ගන්නා ආහාර තොග නිසා ඔවුන්ගේ හොද්ද බොරය. එහෙත් කුණු ආහර බුදින කී දෙනකු ලෙඩ්ඩු වෙනවාදැයි මේ කාලකණ්‌ණි වෙළෙඳුන් සිතන්නේ නැත.

2014 උදාවත් සමග අහිංසක ඇඟලුම් සේවකයන් හාරසීයක්‌ පමණ ලෙඩ කළ මේ ආහාර සැපයුම් ආයතන සදහටම සීල් තැබිය යුතුය. එමෙන්ම කෙනකුගේ කුස ගින්න නිවීමට දෙන කෑම වේලෙනුත් ගසාගෙන කන අධම තිරිසන් වෙළෙඳුන් මේ වසරේදීම වෙළෙඳපොළෙන් ඉවත් කළ යුතුය. එසේ නොවෙන්නේ නම් මේ වෙළෙඳුන් මුළු රටම ලෙඩ කරන දිනය වැඩි ඈතක නොවේ.

මේ ටිකත් අපි ලියා තබමු. ඌරන්ට මොන සෞඛ්‍යද සිතාගෙන කෑම විකුණන උන් නැවත උපදින්නේ නම් ඌරු ආත්මයකමය. නැතහොත් කපුටු ආත්මයකය. ඌරෙක්‌ වෙනවද? කළු කපුටෙක්‌ වෙනවද? කළු කඩකාරයෝ සිතා බැලිය යුතුය.

තරංග රත්නවීර
ඡායාරූප - ධම්මික රාජපක්‍ෂ සහ මධුර ප්‍රියන්ජිත්

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment