අස්ගිරි නාහිමි දැයෙන් සමුගනී!

අපවත් වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ මහනායක උඩුගම ශ්‍රී බුද්ධරක්‍ඛිත මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයේ කටයුතු මහනුවර, අස්ගිරිය පොලිස් ක්‍රිඩාංගණයේ දී මේවන විට සිදුවෙයි.

උන්වහන්සේගේ දේහය සහිත චිතකයට ගිනි දැල්වීම මීට ටික වේලාවකට පෙර ඇරඹිණ.

අද පස්වරුවේ ආදාහන පූජෝත්සවයේ කටයුතු බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් වසන්ත ඒකනායක මහතාගේ පිළිගැනීමේ කථාවෙන් පසුව ඇරඹී අතර පැමිණ සිටි පිරිස පංච ශීලයෙහි පිහිටුවනු ලැබුවේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී මහනාහිමියන් විසිනි.

අනුශාසනා කතාව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් විසින් සිදුකරන ලදී.

ඉන් අනතුරුව අපවත් වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ මහනායක උඩුගම ශ්‍රී බුද්ධරක්‍ඛිත මහානාහිමියන් වෙනුවෙන් මතක වස්ත්‍ර පූජා කිරීමද සිදුවිය.

ආදාහන පෙරහැර ගමන් ගත් මාර්ග දෙපස රැස්වු දහස් ගණන් ජනතාව මහනාහිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වුහ.

අද පස්වරුවේ අස්ගිරි නාහිමියන්ගේ දේහය රැගත් අවමංගල පෙරහැර අස්ගිරි මහා විහාරයෙන් ගමන් ආරම්භ කර දේව විදීය, ඩී.එස් සේනානායක විදීය, දළදා විදීය ඔස්සේ මහනුවර පොලිස් ස්ථානය අසළට පැමිණියේය.

අනතුරුව එය පුෂ්පදාන බාළිකා විද්‍යාල හන්දියෙන් හැරී අස්ගිරිය පොලිස් ක්‍රිඩාංගණය වෙත පැමිණි අතර මහ සංඝරත්නය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පක්‍ෂ විපක්ෂ මැතිඇමතිවරුන් රැසක් ද ආදාහන පූජෝත්සවයට එක්ව සිටින බව අප වාර්තාකරු පැවසීය.

චිතකයට ගිනි දැල්වීමට මත්තෙන් උඩු ගුවනේ සිට පුෂ්පෝපහාර දැක්වීමක් ද සිදුවිය.

තරුණයා ගහේ එල්ලී මැරිලා

හලාවත, මහදූවවත්ත ප්‍රදේශයේ දී තරුණයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

අදාළ තරුණයා ගසක අත්තක ගැට ගැසු රෙදි පටියක් ආධාරයෙන් ගෙල වැලලාගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ 22 හැවිරිදි මහදූවවත්ත ජයබිම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

අදාළ තරුණයා සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හලාවත පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

බන්දුල දොට්ට!

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ති‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා ඉවත් කර තිබේ.

ඒ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණවලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් බව පැවසේ.

මේ සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ අදාළ තීන්දුව ඇතුළත් ලිපියක් තමාට ලියාපදිංචි තැපෑලෙන් අද ලැබුණු බවයි.

පක්ෂ සභාපති ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතු ලිපියක් එසේ ලැබුණු බව ඒ මහතා කීවේය.

කොටකෙතන පුතා රිමාන්ඩ්

කහවත්ත, කොටකෙතන 39 හැවිරිදි කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ දෙවැනි පුත්‍රයා මේ මස 27 දක්වා රිමාන්ඩ් කර තිබේ.

සැකකාර පුත්‍රයා පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබාදී ඇත.

පසුගිය 4දා රාත්‍රී අදාළ කාන්තාව ඝාතනයට ලක්ව තිබූ අතර ඇයගේ සිරුර කොටකෙතන ඇළේ තිබී සොයාගන්නා ලදී.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුත්‍රයා පාපොච්චාරණයක් කර ඇති අතර සිය පෙම්වතියට අවුරුද්දට ඇඳුම් මිලදී ගැනීම සඳහා මවගෙන් මුදල් ඉල්ලා සිටියදී නොදීම නිසා ඇති වූ ආරවුලක් දුරදිග යාම මෙම ඝාතනයට මුල්වූ බව හෙතෙම පවසා ඇත.

ගැටුම් නිසා පීඩාවට පත්වූ ලාංකිකයින් සියලුදෙනා ගෙන්වාගත්තා

යේමනයේ ගැටුම් හේතුවෙන් අතරමංව සිටි සියලූම ශ්‍රී ලාංකිකයින් දිවයිනට පැමිණ තිබේ.

මෙම ගැටුම් හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් 45 දෙනෙකු පමණ එරට අතරමංව සිටි අතර ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට විදේශ අමාත්‍යංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යංශය පියවර ගනු ලැබුවේය.

ඒ අනුව චීන රජයේ ආධාර ඇතුව මෙම පිරිස දිවයිනට ගෙන්වා ගැනීමට හැකිවු බව විදේශ අමාත්‍යංශය සඳහන් කළේය.

අතරමංව සිටි ශ්‍රී ලාංකිකයින්ගෙන් 29 දෙනෙකු පසුගිය 8 වනදා දිවයිනට පැමිණි අතර තවත් 16 දෙනෙකු ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියහ.

මෙම පිරිස යේමනයේ සානා නගරයේ සිට කලෝමිටර් 222ක් නොදෙයිදා වරාය නගරයට පැමිණ එතැන් සිට චීන නාවික හමුදාවට අයත් යුධ නැවකින් ජිබුති වරායට පැමිණ තිබුණි.

ඉන් අනතුරුව මොවුන් දෝහා කටාර් හරහා දිවයිනට පැමිණි බව විදේශ අමාත්‍යංශය සඳහන් කළේය.

මෙලෙස දිවයිනට පැමිණි පුද්ගලයින් අතර කාන්තාවන් කිහිපදෙනෙකු සහ කුඩා දරුවෙකුද වේ.

යේමනය තුළ තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැදී සිටින අතර ඔවුන් යේමනයේ වෙනත් ප්‍රදේශ වල සුරක්ෂිතව රැඳිසිටින බව විදේශ අමාත්‍යංශ සඳහන් කළේය.

සියලු සුරාසැල් වැසේ

හෙට සහ අවුරුද්ද වෙනුවෙන් දිවයිනේ සියලූම සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු අධිකාරී ප්‍රභාත් ජයවික්‍රම මහතා පැවසුවේ මෙම නීතිය උල්ලංඝණනය කරන අළෙවිසැල් හිමියන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ බස්රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා පැවසුවේ ගම්බිම් බලා පිටත්ව යන මගීන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් මෙය ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර ගිනිකෙළි අළෙවි කිරීමේදී අදාළ නෛතික ක්‍රියාවලියට අනුව ක්‍රියාකළයුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ඔහු පවසන්නේ අදාළ නීති උල්ලංඝණනය කරමින් ගිනිකෙළි භාණ්ඩ අළෙවි කිරීමද තහනම් බවයි.

අස්ගිරි නාහිමි අපවත්වීම ශාසනයට මෙන්ම රටටද දැරිය නොහැකි පාඩුවක්

අපවත් වී වදාළ සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමිගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් පැමිණෙමින් සිටිති.

උන් වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඊයේ පස්වරුවේ පැමිණියේය.

එහිදී අදහස් දැක්වූ කාදිනල් හිමිපාණන් පැවසුවේ, උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමිගේ අපවත් වීම ශාසනයට මෙන්ම රටටද දැරිය නොහැකි පාඩුවක් බවයි.

මේ අතර මේ වන විටත් උඩුගම ශ්‍රී බුද්ධරකඛිත නාහිමිගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද දිනයේත් විශාල පිරිසක් පැමිණෙනු ඇති බව අප වාර්තාකරු කියයි.