2015 පළමු පාසල් වාරය හෙටින් ඇරඹෙයි

2015 වසරේ පළමු පාසල් වාරය හෙටින් ආරම්භ වීමට නියමිතව තිබේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් කටයුතු සඳහා යොදා ගන්නා පාසල් 68 ක් සහ ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් 27 ක් හැර සෙසු සියලුම පාසල් හෙට දිනයේ ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.


සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සඳහා පාසල් 83 ක් යොදා ගැනීමට නියමිතව තිබුනද අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඒ සඳහා යොදා ගෙන ඇත්තේ පාසල් 68 ක් පමණක් බව සඳහන් වෙයි.


එම පාසල් පළමු වාරය සඳහා විවෘත කෙරෙන්නේ ලබන 12 වනදින බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කර සිටියේය.


මේ අතර ජනාධිපතිවරණය හේතුවෙන් සියළුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට ලබන 7,8 සහ 9 යන දිනවල නිවාඩු ලබා දීමට ද තීරණය කර ති‍බේ.


එමෙන්ම අති උතුම් ශුද්ධොත්තම පාප්වහන්සේගේ මෙරට සංචාරයට සමගාමීව ආරක්ෂිත කටයුතු වෙනුවෙන් අනුයුක්ත කර ඇති පොලිස් නිලධාරීන්ගේ නේවාසික පහසුකම් සඳහා යොදාගනු ලබන පාසල් 46 ක් ලබන 11 වන දින සිට 15 වනදින දක්වා වසා තැබීමට ද තීරණය කර ඇති බව සඳහන්ය.


එම පාසල් ලබන 16 වනදින යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.



Post a Comment