දෙමළ ජාතික සන්ධානය එල්.ටී.ටී.ඊ. හිතවාදී සබඳතා අත්හැරිය යුතුයි

ජාතික ගැටලුව සඳහා විසඳුම් සෙවීමේ සැබෑ අවශ්‍යතාවක් දෙමළ ජාතික සන්ධානයට පවතින්නේ නම් එල්.ටී.ටී.ඊ හිතවාදින් සමඟ පවත්වන සබඳතා අත්හැරිය යුතු බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී.ආනන්ද සංගරී මහතා පවසයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා වෙත ලිපියක් යොමු කරමින් සංගරී මහතා පෙන්වා දෙන්නේ ජාතික ගැටලුවට විසඳුම් සෙවීම සඳහා හැකියාව පවතින්නේ තම පක්ෂයට පමණක් බවයි.


ඉන්දියානු මොඩලයේ විසඳුමක් මෙරට ගැටලුව සඳහා ද යෝග්‍ය වන බව පෙන්වා දෙන සංගරී මහතා එම යෝජනාවට කිසිවෙකුත් විරුද්ධ වි නොමැති බව ද ඉන්දිය අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කර ඇති ලිපියෙන් පෙන්වා දෙයි.


දෙමළ ජාතික සන්ධානය සහ ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටිමේ අයිතිය අහිමි කරගෙන ඇති බව ආනන්ද සංගරී මහතා එහි සඳහන් කර තිබේ.


අවස්ථා කිහිපයකදි ඔවුන් වැරදි ලෙස කටයුතු කර තිබීම ඊට හේතුව බව ඔහු පෙන්වා දෙනවා.


ඔහු දක්වා ඇත්තේ යුද්ධයේ අවසන් අදියරේ දි ඉන්දිය විදේශ ලේකම් ශිව් ශංකර් මෙනන් මහතා හමුවීම ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන් ඇති වූ තත්ත්වය ද ඒ අතර වන බවයි.


එබැවින් අදාළ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා ඉන්දිය අග්‍රාමාත්‍යවරයා හමුවීමට බලාපොරොත්තු වන බව ද ආනන්ද සංගරි මහතා සිය ලිපියෙන් දන්වා තිබේ .



Post a Comment