කරුවලගස්වැව සන්ධාන සභාපති පුටුව අතහරී

තමන් විසින් දැරූ ප්‍රාදේශීය සභා සභාපති ධූරයෙන් අද (09) වැනිදා සිට තාවකාලිකව ඉවත් වූ බව කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපති නීල් වීරසිංහ මහතා කියයි.

තමන් ගත් තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටත්,ආරක්ෂක ලේකම්වරයාට,පොලිස්පතිවරයාට මෙන්ම ආණමඩුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයාට ද වයඹ පළාත් පාලන කොමසාරිස්වරයාටද දැනුම් දුන් බව වීරසිංහ මහතා පැවසීය.


පසුගිය දිනක පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් තම නිවසට පැමිණ එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලීසිය විධිමත් ලෙස ක්‍රියාත්මක වී නොමැති බවත්,තමන් විසින් හෝ තම ඥාතියෙකු විසින් යම් කිසි ක්‍රියාවක් සිදු කළ හොත් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන පොලීසිය මෙම අවස්ථාවේදී ඒක පාක්ෂිකව කටයුතු කර ඇති බවද නීල් වීරසිංහ මහතා කීවේය.


තමන් විසින් පාවිච්චි කරන ලද කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවට අයත් සියලූම දේපළ සභා ලේකම්වරයා වෙත බාර දුන් බව ද අප කළ විමසුමකදී නීල් වීරසිංහ මහතා සඳහන් කළේය.


මේ සම්බන්ධයෙන් වූ ලොග් සටහන අද සවස තමන් කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ දී සටහන් කළ බවද ඒ මහතා පැවසීය.


1997 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවට තරග කර මනාප ඡන්ද 3495 ක් ලබා ගෙන එම මැතිවරණයේ ලාබාලතම පළාත් පාලන ආයතන සභාපතිවරයා ලෙස තේරී පත්වූ නීල් වීරසිංහ මහතා පසුගිය 2011 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී මනාප ඡන්ද 8160 ක් ලබා ගෙන දෙවැනි වරටද කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත් විය.



Post a Comment