කෙළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අද(15)මෙම අදහස් පළ කළේය.
ටිල්වින් සිල්වා මහතා විසින් එම අවස්ථාවේදී පහත පරිදි වැඩි දුරටත් අදහස් දැක්විය.
මේ වන විට ආණ්ඩුව විසින් ඌව පළාත තුළ සිදුකරන ප්රචණ්ඩ කි‍්‍රයා වේගයෙන් ඉහළ යමින් තිබෙනවා. මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා සමඟ පැවති සාකච්ඡා ගණනාවකදී අවධානය යොමු කරනු ලැබුවත් නොනැවතී සිදුවෙමින් ඇති ප්රචණ්ඩකාරීත්වය මෙම මැතිවරණයේ විශේෂ තත්ත්වයක් වෙනවා.
මෙම මැතිවරණය ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ වාර්තා කිහිපයක් තබනවා. මෙය මෙතෙක් පැවති වැඩිම රාජ්‍ය බලය යෙදවූ මැතිවරණයයි. වැඩිම මැතිවරණ නීති උල්ලංඝණය කෙරුණු මැතිවරණයයි. වැඩිම රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය සම්පත් ප්‍රමාණයක් පාවිච්චි කරගන්නා මැතිවරණයයි. සන්ධාන ආණ්ඩුව කෙතරම් රාජ්‍ය බලයක් යොදාගනිමින් ජනමතය විකෘති කිරීමට උත්සාහ කළත් සන්ධානයට ඌව පළාතේදී තනිව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට නොහැකිවීමේ අර්බුදයක් ඇතිවිය හැකියි. මෙම මැතිවරණය තුළ ජ.වි.පෙට සැලකිය යුතු බලයක් ලැබෙනවා. බොහෝ විට පළාත් සභාවේ තීරක බලය ජ.වි.පෙට ලැබෙන්නට ඉඩ තිබෙනවා.
මෙම මැතිවරණය තබන තවත් වාර්තාවක් වන්නේ ජනාධිපතිවරයා පරදින මැතිවරණයක් වීමයි. මුළු ඡන්ද ව්‍යාපාරයේම මේ වනවිට සිටින්නේ ජනාධිපතිවරයායි. ඒ අනුව ජනාධිපතිවරයාම මැතිවරණ වැඩකරන මෙම මැතිවරණයේ ප්‍රතිඵලයෙන් ආණ්ඩුවට මන්තී්රකම් සහ ඡන්ද ප්‍රමාණය අඩුවනවා. එම නිසා මෙම මැතිවරණයේදී පරාජය වන්නේ ඔහුයි.
ආණ්ඩුවේ මැති ඇමතිවරු මෙම ඌව මැතිවරණයෙන් තමන් දිනන බවට වහසිබස් දෙඩුවා. එහෙත් ඇත්ත තත්ත්වය නම් ඌව ආණ්ඩුවට ජයග්‍රහණය කිරීමට ඉතා අසීරු බවයි. ඔවුන් කියන පරිදි අනිවාර්යයෙන් දිනනවානම් සහ එය මෙතරම් පහසු නම් ආණ්ඩුවට මෙතරම් ප්රචණ්ඩ කි‍්‍රයා සිදුකිරීමට අවශ්‍ය වන්නේ ඇයි? රජයේ ආයතනවල වාහන, රජයේ නිලධාරීන්, රාජ්‍ය මාධ්‍ය, පාවිච්චි කරන්නට අවශ්‍ය වන්නේ ඇයි? සිල් රෙදි කෑල්ලේ සිට නියෝජ්‍ය ඇමතිකම් දක්වා අල්ලස් දෙන්නට සිදුවන්නේ ඇයි? ආණ්ඩුව ජනතාවට වැඩ කළානම් ජනතාවම ආණ්ඩුව වෙනුවෙන් ඡන්ද වැඩ කරන්න තිබුණා. ඒත් අවුරුදු 05ක් ඌවෙ දැක්කෙ නැති ජනාධිපතිවරයාටම දැන් ඌවේ නතරවී ඡන්ද කිරීමට සිදුව තිබෙනවා. මේ මොනවා කළත් සන්ධානයේ පරාජය වළක්වා ගන්න බැහැ.
මැතිවරණයේ ප්රචණ්ඩ කි‍්‍රයා සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳව අපි වාර කිහිපයක් මැතිවරණ කොමසාරිස්වරයාටත් පොලිස්පතිවරයාටත් පැමිණිලි කළා. කෙසේ වෙතත් මේ වනවිට ජනාධිපතිවරයාම මැදිහත් වී ඡන්ද නීති කඩමින් සිටිනවා. ඔහු මහජන මුදලින් සිදුකරන ලද ව්‍යාපෘති මහජන මුදල් වියදම් කරමින් උත්සව පවත්වා විවෘත කරමින් සිටිනවා. එම උත්සවවලට සන්ධානයේ අපේක්ෂකයින් එක්කර ගන්නවා. එම උත්සව වෙනුවෙන් මුළු දිස්ති‍්‍රක්කයම සරසනවා. රථ පෙළපාලි යනවා. පොලීසියට මේවා සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් කළ නොහැකියි. ඇතැම් විවෘත කිරීම් ජනාධිපතිවරයෙකුගේ තනතුරටත් නොගැලපෙන ඒවායි. ඒවා ප්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන්, පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් විසින් කළ යුතු තරමේ ඒවායි.
බණ්ඩාරවෙල බස් නැවතුම්පොළ විවෘත කිරීමටත් මහියංගණයේ ලයිට් කණු 07ක් විවෘත කිරීමටත් පාසැල්වල විද්‍යාගාර විවෘත කිරීමටත් ජනාධිපතිවරයෙක් සම්බන්ධ වෙමින් ඉන්නවා. මෙය ඉතාම කණගාටුදායක තත්ත්වයක්. මෙම මැතිවරණයේදී ජනාධිපතිවරයාට සිංහාසනයෙන් බහින්න සිද්ධ වෙනවා. සන්ධානය ඌවේ මෙතෙක් ප්‍රධාන මැතිවරණ රැළි තබා නැහැ. ඔවුන් සමුළුව තිබ්බා. රටේම සෙනග ඇදලා, සෙනගට වඩා බස් ගෙනැල්ලා සමුළුවක් කළා. දැන් මැතිවරණ රැස්වීම් කරන්නේ පාසැල්වල විවෘත කිරීම්වලට බලහත්කාරයෙන් දෙමව්පියන් කැඳවමිනුයි.
පසුගියදා බණ්ඩාරවෙල පාසැලක පැවති උත්සවයකට පැමිණි ජනාධිපතිවරයා හිටියේ විනාඩි 10යි. ඒත් මුළු උත්සවයේම බර දරන්න වුණේ ආචාර්ය මණ්ඩලයට, ළමයින්ට සහ දෙමව්පියන්ටයි. ජනාධිපතිට කොඩි වනන්න ළමයින්ට සිද්ධ වුණා. රුපියල් 20ක් දීලා ඒ කොඩිය ගන්න වුණෙත් ළමයින්ටමයි. මේ රැස්වීම්වලට ආපු දෙමව්පියෝ යන්නේ ආණ්ඩුවේ නායකයින්ගේ දෙමව්පියෝ මතක් කරමිනුයි. තංගල්ල නගරාධිපතිගේ මට්ටමට බහින්න ජනාධිපතිට සිද්ධ වෙලා. මේ සියල්ල ඇතුළේ පේන්නේ ආණ්ඩුවට මේ මැතිවරණයට මුහුණ දෙන්න ධෛර්යයක් නැති බවයි.
ආණ්ඩුව රජයේ සේවකයින් යොදා ගනිමින් බරපතළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමකට උත්සාහ කරනවා. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් යොදා ගනිමින් 6,7,8, දිනවල සමීක්ෂණයක් කළා. මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස් හමුවේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය කියා තිබුණේ තමන් සමීක්ෂණයක් නොකරන බවයි. ඒත් කූට ලෙස සිදුකරන ලද සමීක්ෂණයේදී නිලධාරීන්ට ජනතාවගෙන් විරෝධය එල්ල වීම නිසා ඔවුන්ට ඉක්මනින්ම සමීක්ෂණය නවත්වන්න සිද්ධ වුණා. ඒ වාගේම ආණ්ඩුවේ අපේක්ෂකයින් රජයේ වාහන පාවිච්චි කරන්නේ කිසිදු හිරිකිතයක් නැතිවයි.
ජනාධිපතිවරයාගේ ඥාති පුතාගේ අංකය ගහගෙන එයාර් ලංකා වාහන ගමන් කරමින් තිබෙනවා. එයාර් ලංකා ලාංඡනයත් තියාගෙන අපේක්ෂක අංකය ගහගෙන යන්නේ මේ ලැජ්ජා නැතිකම නිසයි. අපට ලැබුණු තොරතුරකට අනුව දියතලාව හමුදා සංකීර්ණයේ මැතිවරණ කටයුතුවලට යොදාගැනීම සඳහා නාවික හමුදා කණ්ඩයක් රඳවා තිබෙනවා. මේ පිළිබඳව අපට බරපතළ සැකයක් තිබෙනවා. එසේම ආණ්ඩුවේ අපේක්ෂක මේජර් දෙනිපිටියගේ ඡන්ද වැඩවලට හමුදා සෙබළුන් කැඳවා තිබෙනවා. ඔවුන් රේසින් බයික්වලින් නගරය මැද සංදර්ශන පවත්වනවා. ඔවුන් දෙනිපිටියගේ අංකය සහිත ඇඳුම් ඇඳ සිටිනවා. එසේම ඔහුගේ ඡන්ද ප්රචාරක රථ සමඟ යුද හමුදා වාහන සම්බන්ධ වෙනවා. ආණ්ඩුව කිසිදු ලැජ්ජාවකින් තොරව මැතිවරණ කටයුතු සඳහා හමුදාව පවා පාවිච්චි කරමින් සිටනවා. මෙය පැහැදිලිවම ආණ්ඩුවේ පරාජයක්.
මැතිවරණ කොමසාරිස්වරයා හමුවී පැවති රැස්වීමේදී ප්රචණ්ඩ කි‍්‍රයා නතර කරන බවට පොලිස්පතිවරයා පොරොන්දු වුණා. ඉන් පසුවත් ජවිපෙ කාර්යාල ගණනාවක් ආණ්ඩුවේ මැරයින් විසින් කඩා බිඳදමා තිබෙනවා. ඒ කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැහැ. කොවුල්ආර ප්‍රදේශයේ අපේ හිතවතෙකුගේ කකුල් කඩා දමමින් වරාය අධිකාරියේ වාහනයක් ගමන් කළා. එය ආණ්ඩුවේ මැතිවරණ ප්රචාරක වැඩට යොදා තිබූ එකක්. කෙනෙකුට පාරට බහින්න බැරි තරමටම රජයේ වාහන සන්ධානයේ ඡුන්ද වැඩට යොදා තිබෙනවා. මේ සියල්ල තුළ තිබෙන්නේ ආණ්ඩු විරෝධී ඡුන්ද ඡුන්දපොළට එන එක වැළැක්වීමේ මනෝ විද්‍යාත්මක උත්සාහයකුයි. එහෙත් ආණ්ඩුවේ මේ බියගුළු උත්සාහයන්ට බිය නොවී ඡන්ද පොළට පැමිණෙන්නැය අපි ඡන්ද දායකයින්ට අවධාරණය කරනවා. සැබැවින්ම මෙය ආණ්ඩුව පරාජය වන ඡන්දයක්. ඒ නිසා රජයේ නිලධාරීන්ටත් අපි කියනවා ආණ්ඩුවේ නීති විරෝධී නියෝගවලට අවනත නොවන ලෙස.
ආණ්ඩුව හදිසියේම මොණරාගල හමුදා සංදර්ශනයක් සූදානම් කළා. එය බදුල්ලේ නොපවත්වන බව මැතිවරණ කොමසාරිස්වරයා ඉදිරියේ සන්ධානයේ නායකයින් පොරොන්දු වුණා. එහෙත් අපට ආරංචි වන විදියට 16,17 දිනවල එය බදුල්ලේ පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් තිබෙනවා. මේ ආණ්ඩුව ඡන්දය දිනීම සඳහා ලැජ්ජා නැති වැඩ කරමින් සිටිනවා. මේ සියල්ල කළත් ආණ්ඩුවට ලැබෙන ප්‍රතිඵලය පරාජයක්. මේ වනවිට විශ්වවිද්‍යාලයට තෝරාගන්නා ලද උසස් පෙළ සමත් සිසුන්ට නායකත්ව පුහුණුව පවත්වමින් තිබෙනවා.
ඒ පුහුණුවට සම්බන්ධ වී සිටින ඌව පළාතේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඡන්දය දීම සඳහා යාමට ඉඩ ලබා නොදීමේ උත්සාහයක් වාර්තා වී තිබෙනවා. මේ තරුණයින්ගේ ඡුන්ද ආණ්ඩු විරෝධී ඡුන්දයි. ඒවා පාවිච්චි වීම වැළැක්මට ආණ්ඩුව සූදානම්. එවැනි සියුම් තැන් සලකා බලමින් ඉන්න තැනකට ආණ්ඩුව පත්වී තිබෙනවා. ආණ්ඩුවට එරෙහි ඡුන්දදායකයා අධෛර්යයට පත්කිරීමට ගන්නා මේ කි‍්‍රයාමාර්ගයන්ට බිය නොවී ඡන්දපොළට එන ලෙස අපි ඉල්ලා සිටිනවා. ජවිපෙ අපි මැර බලය, ධන බලය, රාජ්‍ය බලය නැතිව, එජාපයටත් වඩා මර්දනයකටත් මුහුණ දෙමින් මැතිවරණ ව්‍යාපාරය තුළ නොබියව ඉදිරියට එනවා.
ආණ්ඩු විරෝධී ඡුන්දදායකයින් සියලූ දෙනා ඡන්දපොළට පැමිණියහොත් මේ ආණ්ඩුව පරාජය කළ හැකියි. ඇමරිකාවේ මාර්ටින් ලූතර් කිං මෙසේ කිව්වා” මේ යුගයේ ඛේදවාචකය වන්නේ නපුරු මිනිසුන්ගේ නපුරුකම් නොව හොඳ මිනිසුන්ගේ නිහැඬියාව” යැයි කියලා. ඡන්දය දීම සඳහා පැමිණීමට අධෛර්යය වන්නට එපා. ජනතාව වැටුණේ ආණ්ඩුවට දීලයි. දැන් වළෙන් ගොඩ ඒමට හැක්කේත් ඡන්දයෙන් පමණයි.
දැන් සන්ධානයේ අපෙක්ෂ්කයින් ජනාධිපතිවරයාගේ රැස් වළල්ල පාවිච්චි කරමින් තව තවත් මැතිවරණ නීති උල්ලංඝණය කරමින් සිටිනවා. මැතිවරණ කොමසාරිස්වරයා කියා තිබෙනවා ප්‍රසිද්ධියේ මැතිවරණ නීති උල්ලංඝණය කරන අපේක්ෂකයින් තේරී පත්වුවත් ඔවුන්ගේ මන්තී්රකම් අහෝසි කරන බව. මේ සඳහා අප සතුව ඇති තොරතුරු මැතිවරණ කොමසාරිස්වරයාට ලබාදීමට අප සූදානම්. එළඹෙන 20 වැනිදා නොබියව ඡන්දපොළට එන්න. ඒ දාන ඡන්ද රැක ගැනීමට අපි අපේ උපරිම මැදිහත්වීම කරනවා. මැතිවරණ නිලධාරීන් බොහොම දෙනෙකුත් සාධාරණ මැතිවරණයක් තැබීමට උත්සාහ ගනිමින් සිටිනවා.
ජනාධිපතිවරයා සිටින්නේ 3 වෙනි වරටත් බලයට ඒමේ සූදානමකයි. ඒ සඳහා ඌව මැතිවරණය පදනම් කර ගැනීමට ආණ්ඩුව අපේක්ෂා කරනවා. ආණ්ඩුවේ ඒකාධිපති ගමන පරාජය කිරීමේ දේශපාලන තීන්දුවත් ජනතාවට ඌවෙන්ම ගත හැකියි. එසේම ආණ්ඩුවේ ප්රජාතන්ත්ර විරෝධී කටයුතුත් නීති විරෝධී මැතිවරණ මෙහෙයුමත් සියලූ දෙනාගේ හෙළා දැකීමට ලක්විය යුතුයි. මැතිවරණය කොල්ලකෑම සඳහා ආණ්ඩුව ගන්නා සියලූ උපක්‍රම පරාජය කරමින් 20 වැනිදා ඡන්දපොළට පැමිණෙන ලෙස ඌව පළාතේ ඡන්ද දායකයින්ට අපි ආරාධනා කරනවා. ඌව පළාත තුළ ජ.වි.පෙට ලැබෙන ජයග්‍රහණය තුළින් ඌවේ ජනතාවටත් රටටත් උපරිම ජයග්‍රහණ කැඳවා දීමට අපි සූදානම්.
Post a Comment