පවුල කැඩුවාට කෝටි 1½ක් වන්දි ගෙවයි

විවාහක කාන්තාවක සමඟ අනාචාරයේ හැසිරීමෙන් එම කාන්තාවගේ නීත්‍යානුකූල සැමියා ඇයත් සමඟ ගෙවූ පවුල් ජීවිතයේ එකමුතුව සහ සබැඳියාව කඩා බිඳ දැමීමේ වරදට නීත්‍යානුකූල සැමියාට රුපියල් කෝටි එකහමාරක වන්දි මුදලක් ගෙවීමට කාන්තාව සමඟ අනාචාරයේ හැසුරුණු පුද්ගලයා‍ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එකඟ විය.

‍අග විනිසුරු මොහාන් පීරිස්, කේ. ශ්‍රීපවන් සහ රෝහිණී මාරසිංහ විනිශ්චය මණ්ඩලය හමුවේ කැඳවුණු අභියාචන පෙත්සමක් විභාගයට නොගෙන සමථයකට පත් කර ගන්නා ලෙස අධිකරණය කළ යෝජනාවක් අනුව එම මුදල භාර ගෙන නඩුව අවසන් කර ගැනීමට නීත්‍යානුකූල සැමියා එකඟ විය.

මෙම නඩුවේ පැමිණිලිකාර සැමියා නුගේගොඩ පදිංචි ව්‍යාපාරිකයකු වන අතර ඔහුගේ පවුල් ජීවිතය කඩා බිඳ දැමී යැයි කියන පුද්ගලයා ගුවන් සේවා සමාගමක පියාසර ඉංජිනේරුවරයෙකි. විවාහය බිඳී යාම නිසා තමාට සිදු වූ පාඩුව සහ අපකීර්තිය වෙනුවෙන් රුපියල් කෝටි දෙකක වන්දි මුදලක් අදාළ පුද්ගලයාගෙන් ලබා දෙන ලෙස සැමියා අධිකරණයෙන් ඉල්ලා තිබිණි.


තින්දුවේ මෙසේ සඳහන්ය.

බිරිය අන් අයකු සමඟ අනියම් සම්බන්ධයක් පවත්වන බව දැන ගන්නට ලැබී වසරක් පමණ ඒ පිළිබඳ සෙවිල්ලෙන් සිටිය දී අනියම් සැමියා සමඟ ඇය නාරාහේන්පිට හෝටලයක සිටින බවට ලැබුණු තොරතුරක් අනුව හිතවතුන් කිහිප‍ දෙනකු සමඟ එහි ගොස් ඇති බවත් මුලින්ම අනියම් සැමියාගේ කාරයේ රෝද දෙකක හුළං හැර ඇති බවත් සඳහන් වේ. එම ස්ථානයේ රැක සි‍ටින විට බිරිය පුද්ගලයා සමඟ කාමරයෙන් එළියට එන විට අල්ලා ගෙන පහර දී පොලිසියට රැගෙන ගොස් තිබේ.

පොලිසිය ඔවුන්ගේ ප්‍රකාශ ලබා ගෙන මුදා හැර තිබේ. ද්වේශ සහගත ලෙස හැර යාම සහ අනාචාරයේ හැසිරීම නිසා බිරියගෙන් දික්කසාද වීමට නියෝගයක් සහ ඇය සමඟ අනාචාරයේ හැසුරුණු පුද්ගලයාගෙන් වන්දි මුදල් ලබා දෙන ලෙස ඉල්ලමින් පැමිණිලිකරු නුගේගොඩ දිසා අධිකරණයේ නඩුවක් පැවරූ අතර නඩුවට බිරිය සහ ඇයගේ අනියම් සැමියා ඉදිරිපත් නොවීම නිසා ඔවුන් දෙදෙනා හෝටලයක සිට සැමියා විසින් අත‍ටම අල්ලා ගැනීමෙන් පසු තිදෙනා විසින් පොලිසියට කළ ප්‍රකාශයන් සහ පොලිසිය කළ විමර්ශනවල සටහන් අනුව නඩුව ඒකපාර්ශ්විකව විභාගයට ගෙන පැමිණිලිකරුගේ ඉල්ලීම් ලබා දෙමින් තීන්දුව ප්‍රකාශයට පත් කර තිබිණි. එම තීන්දුවට එරෙහිව කාන්තාව සහ අනියම් සැමියා අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර දිසා අධිකරණයේ තීන්දුව අනුමත කරමින් අභියාචනාධිකරණය තීන්දුවක් ප්‍රකාශයට පත් කෙරිණි.

එම තීන්දුවට එරෙහිව ඔවුන් දෙදෙනා නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයන් ඉදිරිපත් කළ අතර එම නඩුව සමථතයකට පත් කර ගැනීමේ දී වන්දි මුදල් රුපියල් කෝටි එකහමාරක් දක්වා අඩු කර භාර ගැනීමට පැමිණිලිකරු එකඟ විය.

එම මුදල ගෙවීමට ඔක්තෝම්බර් 15 දා දක්වා කල් ලැබිණි. විවාහයක් කඩා කප්පල්වීමක් වෙනුවෙන් වගඋත්තර පාර්ශ්වයනට වන්දි මුදල් ගෙවන ලෙස කෙරුණු තීන්දු මීට පෙර ප්‍රකාශයට පත් වුවද මෙතරම් විශාල මුදලක් ගෙවීමට නියම කෙරුණු ප්‍රථම අවස්ථාව මෙය බව ජ්‍යෙෂ්ඨ නිතීඥවරු පැවැසූහ. සැමියා වෙනුවෙන් ගීතක ගුණවර්ධන සහ මහින්ද වික්‍රමරත්න නීතීඥ මහත්වරුන් සමඟ ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේ ය.

අනියම් සැමියා වෙනුවෙන් නීතිඥ ආනන්ද පෙරේරා මහතා සමඟ ජනාධිපති නීතිඥ ඩී.එස්.විජේසිංහ මහතා පෙනී සිටියේ ය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment