නව රජයේ අතුරු අයවැය හෙට - සහන රැසක් ලබාදීමට නියමිතයි

නව රජයේ අතුරු අයවැය හෙට(29) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නිමිතව තිබේ.

මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතා විසින් සිදුකරන ප්‍රකාශයක් ලෙස අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.


අතුරු අයවැය මගින් ජන ජීවිතය නගා සිටුවීම සදහා සහන රැසක් ලබාදීමට නියමිත බව ද වාර්තා වෙයි.


විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ 10 ක මිල මෙම අයවැය යටතේ අඩුකිරීමට නියමිත බව රජය පසුගිය දා ප්‍රකාශ කළේය.


එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින 100 වැඩපිළිවෙළ යටතේ යෝජනාකර ඇති සහන ද මෙම අතුරු අයවැය යටතේ ලබාදෙනු ඇත.


මීට අමතරව රේගු බදු ලිහිල් කිරීම, සමෘද්ධි දීමනාව වැඩි කිරීම, රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම, විශ්‍රාමිකයින්ගේ වැටුප් විශමතා ඉවත් කෙරෙන තෙක් ඔවුන්ට මාසික දීමනාවක් ලබාදීම වැනි යෝජනා ද මෙම අතුරු අයවැයේ ඇතුළත් වෙයි.



ශිරාණි යළි තනතුරේ පිහිටුවීම ගැන රජයෙන් පැහැදිළි කිරීමක්

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත්කර ඒ වෙනුවට මොහාන් පීරිස් මහතා පත් කළ බව කියන ක්‍රියාමාර්ගය, නීතියට අනුව අවලංගු සහ බල ශුන්‍ය ක්‍රියාවක් බව රජය පවසයි.

මේ සම්බන්ධයෙන් රජය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදයක් වැඩිදුරටත් පහත පරිදිය.


ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එම තනතුරින් ඉවත් කිරීම සඳහා වූ යෝජනාවක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ හැකි වන පරිදි විශේෂ තේරීම් කාරක සභාවක් පත්කිරීම සඳහා වූ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.


ඒ අනූව විශේෂ තේරීම් කාරක සභාවක් පත්කරන ලද අතර එහි තීරණ‍ය වූයේ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරීම සඳහා ප්‍රමාණවත් චෝදනා ඇති බවයි.


එම විශේෂ තේරීම්කාරක සභාවේ වාර්තාව 2013 ජනවාරී 8 වැනි දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී.


අනතුරුව තේරීම්කාරක සභාව වාර්තාව 2013 ජනවාරී 10 සහ 11 දිනවල පාර්ලිමේන්තුවේදී විවාද කර අවසානයේ යෝජනාවක් සම්මත කරන ලදී.


එහෙත් එම සම්මත වූ යෝජනාවේ සඳහන් වූයේ විශේෂ තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව පමණි.


මේ බව කතානායකවරයා විසින් එවකට ජනාධිපතිවරයාට යවන ලද 2013-01-11 දිනැති ලිපියෙන් පැහැදිල‍ිවේ.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107/2 වගන්තිය ප්‍රකාර අගවිනිසුරුවරිය ඉවත් කරන ලෙස, ඉල්ලීමක් සම්මත වී නොතිබුණ ද එවකට සිටි ජනාධිපතිවරයා ශිරාණි බණ්ඩාරනායක මහත්මිය උද්දේශිතව ඉවත් කර ඒ වෙනුවට මොහාන් පීරිස් මහතා උද්දේශිතව පත්කරන ලදී.


ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ධූරයෙන් ඉවත් කිරීමට පූර්ව කොන්දේසියක් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107/2 වගන්තිය ප්‍රකාරව එසේ ඉවත් කරන ලෙස ඉල්ලූ යෝජනා සම්මතයක් නොමැති බැවින් කළා යැයි කියන ඉවත් කිරීම සහ කළා යැයි කියන පත්කිරීම මුල සිටම නීතිය අනූව අවලංගු සහ බලශූන්‍ය ක්‍රියාවක් බව රජයේ මතයයි.



උඩුවේ හිමිගේ පන්සලේ අලි පැටියා එළියට ගන්න නියෝජ්‍ය ඇමතිත් ගිහින්

උඩුවේ ධම්මාලෝක හිමියන් වැඩවසන කිරුළපන, ඇලන්මැතිනියාරාමයේ රඳවාගෙන සිටින කුඩා අලි පැටවෙකු මුදා ගැනීම සඳහා සංචාරක හා ක්‍රීඩා නියෝජ්‍ය ඇමති වසන්ත සේනානායක, වනජීවි නිලධාරීන්, පරිසර සංවිධාන ඇතුළු පිරිසක් මේවන විට එම විහාරස්ථාන පරිශ්‍රයට ගොස් තිබේ.

එහිදී අදහස් දැක්වූ වසන්ත සේනානායක මහතා කියා සිටියේ එම අලි පැටවා නීත්‍යානූකූලව ලියාපදිංචි කර නැති අලි පැටවෙකු බවයි.


මේ ගැන ලැබුණු තොරතුරක් මත එම අලියා මුදා ගැනීමට පැමිණි බවත්, අලි පැටවුන් රඳවාගෙන සිටින අය ගැන බොහෝ තොරතුරු මේවන විට ලැබී ඇති බවත්, ඒ මහතා පැවසීය.


එසේම ව්‍යාජ ලියකියවිලි මත අලි පැටවුන් රඳවාගෙන සිටින පුද්ගලයින්ට එම අලි නැවත බාරදීමට සහන කාලයක් ලබා දී ඇතැයිද ඒ මහතා කියා සිටියේය.


නව රජය යටතේ අලි පැටවුන් ජාවාරම නැති කරන බවද ඒ මහතා පැවසීය.


මේ අතර එහි සිටින අප වාර්තාකරු පැවසුවේ එම අලි පැටවා රැගෙන යාමට වාහනයක් පැමිණෙන තුරු පිරිස එහි රැඳී සිටින බවයි.


එසේම උඩුවේ ධම්මාලෝක හිමියන් මේවන විට විහාරස්ථානයේ නොසිටින බවද වාර්තා වී ඇතැයි හෙතෙම පැවසීය.



මේ දවස්වල හැමෝම හොරු-ඔප්පු කළොත් දේශපාලනයෙන් සමුගන්නවා

මේ දිනවල හැමෝම හොරු බවට පත් කොට ඇති බවත්, හිටපු ජනපති,මැති ඇමතිවරු,රාජ්‍ය නිලධාරීන් සියලුදෙනාම පාහේ හොරු ලෙස නම්කරමින් යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් හිමිවුණු තිස්සමහාරාමය ආසනය හැරුණු විට ඊළඟට වැඩිම ඡන්දයක් හිමිවූයේ තමාගේ ආසනය වන හෝමාගම ආසනයේ බවත්, එකී ආසනය තුළම තමාට ‘හොරෙක්‘යයි චෝදනා කරන බෝඩ් උස්සන් සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.


එසේ බෝඩ් උස්සන් හිටිය කෙනාට එරෙහිව තමා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ගුණවර්ධන මහතා කියා සිටියේ අද(28) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.


වැරදි කළවුන් සිටීනම් ඒ ගැන සොයාබැලීමට කොමිසමක් පත් කළ යුතුව ඇති බවත්, එසේ නොකොට මාධ්‍ය සංදර්ශන පැවැත්වීම නුසුදුසු බවත් ඔහු පෙන්වා දුන්නේය.


හොරා හොරා යනුවෙන් ආමන්ත්‍රණය කරමින් දින 100 ගෙවුණු පසු එළඹෙන මහමැතිවරණය ජයග්‍රහණය කළ හැකි යයි සිතන්නේනම් එය වැරදීමක් බවත්, තමන් වැරදි කර ඇති බව ඔප්පු කළහොත් දේශපාලනයෙන් සමුගන්නා බවත් ගුණවර්ධන මහතා අවධාරණය කළේය.


ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයෙත් තමා බොහෝ කාලයක් දේශපාලනයේ නිරතවෙමින් විවිධ තනතුරු දරා ඇතත් මිනිසුන් මේ තරමට බාල්දුවන වෙනත් කාලයක් තමා අත්දැක නොමැති බව මන්ත්‍රීවරයා කියා සිටියේය.


චෝදනා ලබන උදවිය අධිකරණයකින් වරදකරුවන්වීමට ප්‍රථම රටේ ජනමාධ්‍ය විසින් වරදකරුවන් බවට පත්කරන බවත්,තමා ලබාගෙන ඇත්තේ මන්ත්‍රී වැටුප පමණක් බවත් තමාගේ විදුලිබිල පමණක් රු.40,000 ක් වන බවත් ගුණවර්ධන මහතා සඳහන් කළේය.


හොරකම් පිළිබඳ කතා කර කර හිටියද කැබිනට් මණ්ඩලයේද එවැනි හොරකම් වලට චෝදනා ලැබූ අය සිටින බව ද හෙතෙම සිහිපත් කළේය.



දිවිනැඟුම සහතිකපත් හා ලිත් තොගයක් අම්පාරේ ගබඩාවකින් සොයාගැනේ

අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගබඩාවක තිබී දිවි නැගුම හිමිකම් සහතිකපත් සහ ලිත් තොගයක් සොයාගෙන තිබේ.

අම්පාර දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පියතිස්ස මහතා විසින් අම්පාර පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ සෝදිසියක දී මේවා සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.


දිවිනැඟුම සහතිකපත් 75,000ක් සහ ලිත් 65,000ක් මෙලෙස සොයාගෙන ඇත.


මේ සම්බන්ධයෙන් අම්පාර දිස්ත්‍රික් ලේකම් නීල් අල්විස් මහතාගෙන් පොලිසිය සිදුකළ විමසීමක දී ඔහු පවසා ඇත්තේ අදාළ ද්‍රව්‍ය තොගය පසුගිය 02 වැනිදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමෘද්ධි කළමනාකරු වෙත ලැබී තිබූ බවයි.


ජනාධිපතිවරණ මැතිවරණ සමය හේතුවෙන් එම ද්‍රව්‍ය කිසිවක් බෙදා නොහරින ලෙසට තමන් උපදෙස් දුන් බව දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කර ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.


දිවිනැඟුම හිමිකම් සහතිකපත් විශාල තොගයක් පසුගිය දිනවලත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සොයාගත් බව වාර්තා විණ.



ශිරාණි යළි අගවිනිසුරු කිරීම - මෛත්‍රී කළේ මහින්දගේ බලරහිත ක්‍රියාවක් නිවැරදි කිරීමක් විතරයි!

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු නිලයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව කටයුතු කර නැති බව ජ්‍යෙෂ්ඨ නීතිඥ සාලිය පීරිස් මහතා පෙන්වාදෙයි.

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය යළිත් මෙරට 43 වැනි අගවිනිසුරුවරිය ලෙස එම තනතුරේ අද රාජකාරී ආරම්භ කළ අතර ඇය එම තනතුරට යළි පත්වීම සම්බන්ධව පවත්නා නීතිමය තත්ත්වය ගැන අද දෙරණ කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ නීතිඥ සාලිය පීරිස් මහතා මේ බව කියා සිටියේය.


මේ සම්බන්ධව සාලිය පීරිස් මහතා අප වෙත කළ ප්‍රකාශය වැඩිදුරටත් පහත පරිදිය.


“2012 නොවම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවා අගවිනිසුරුවරියට එරෙහිව චෝදනා විභාග කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන්න. ඒ අනූව තේරීම් කාරක සභාවේ කටයුතු අවසානයේ එය වාර්තාවක් නිකුත් කළා පාර්ලිමේන්තුවට.


එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුව මීළඟට කළ යුතුව තිබුණේ අගවිනිසුරුවරිය ඉවත් කිරීම සඳහා ඉල්ලීමක් සහිත යෝජනාවක් සම්මත කිරීමයි.


නමුත් 2013 ජනවාරී මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් ක‍ෙළ් අගවිනිසුරු ඉවත් කිරීමේ යෝජනාවක් නොව නැවතත් අගවිනිසුරුවරියට එරෙහිව චෝදනා විභාග කිරීමට තේරීම් කාරක සභාවක් පත් කිරීමේ යෝජනාවක්.


2013 ජනවාරී 11 වැනිදා සම්මත කළ යෝජනාවේ වගන්තියක් නෑ අගවිනිසුරුවරිය ධූරයෙන් ඉවත් කරන්න කියලා. එවැනි වගන්තියක් නොමැතිවයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අගවිනිසුරුවරිය ඉවත් කර නැවත මොහාන් පීරිස් මහතාව පත් කළේ.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වලා තියෙන්නේ අනිවාර්යයෙන්ම විනිශ්චකරුවෙක් ජනාධිපතිවරයා ඉවත් කරන්න පෙර පාර්ලිමේන්තුව විසින් යෝජනාවක් සම්මත කළ යුතුයි ඔහු ඉවත් කරන්න කියලා.


නමුත් ඒ අවස්ථාවේ ඉල්ලීමක් නැතිවයි අගවිනිසුරු ඉවත් කළේ. ඒ නිසා අගවිනිසුරුවරියගේ ඉවත් කිරීම මුල සිටම බලරහිත ක්‍රියාවක්. මොහාන් පීරිස් මහතා පත්කිරීමත් මුල සිටම බලරහිත ක්‍රියාවක්.


මේ අවස්ථාවේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කර ඇත්තේ හිටපු ජනාධිපති ‍මහින්ද රාජපක්ෂ මහතා විසින් ගත් නීති විරෝධී බලරහිත ක්‍රියාව නිවැරදි කිරීමක්.


ඒ අනූව ශිරාණි බණ්ඩාරනායක මහත්මියට නැවත වැඩ භාරගන්නා ලෙසට ජනාධිපතිවරයා දැනුම්දී තිබෙනවා.” යනුවෙනි.



ජෙනරාල් ෆොන්සේකාට සියලු වරප්‍රසාද - තනතුරු හිමිවෙයි

ජනපති සමාව යටතේ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට හිමි සියලු තනතුරු, වරප්‍රසාද, විශ්‍රාම වැටුප් යනාදී සියලු හිමිකම් ඔහුට නිල වශයෙන් හිමිව තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තිය යටතේ හිමි බලතල ප්‍රකාරව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගියදා සරත් ෆොන්සේකා මහතාට පූර්ණ ජනපති සමාවක් ලබාදුන්නේය.


ඒ අනුව ඔහුට තරු හතරේ ජෙනරාල්, පදක්කම, විශ්‍රාම වැටුප සහ ඔහු සේවයේ යෙදෙමින් දේශපාලනය කිරීමට හා සිරගත කිරීම නිසා යුද හමුදා අධිකරණය විසින්, 2010 දී ඉවත් කරන ලද සියලු වරප්‍රසාද ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට හිමිය.


ඒ අනුව, ජෙනරාල් ෆොන්සේකා, රණ ශූර පදක්කම (RSP,), Vishishta සේවා විභූෂණ (වීඑස්වී), උත්තම සේවා පදක්කම (USP) සහ ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ඔහු වෙත ලබා දුන් වෙනත් සියලු රණවික්‍රම පදක්කම (RWP) පැළඳීමට හැකිය.


ත්‍රස්තවාදය පරාජය කිරීමට යුද බිමේදී ඔහු ලබාදුන් නායකත්වය අගයමින්, 2009 මැයි 18 වන දින ඔහු වහා ජෙනරාල් නිලයට උසස් කරන ලද අතර 2009 ජූලි මස 14 වැනිදා ඔහු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර පත් කරන ලදී.


කෙසේ වුවද ඔහු යුද හමුදා සේවයේ යෙදෙමින් දේශපාලනය කළ බැව් කියමින් යුදාධිකරණය විසින් හෙතෙම වරදකරු කර සිරගත කළේය.


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට යළි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාම ජනපති සමාව දුන් අතර නැවත ඔහු දේශපාලනයට පිවිසිණ.


මේ අතර පූර්ණ ජනපති සමාව හිමිවූ සරත් ෆොන්සේකා මහතාට ඔහුගේ ඡන්ද අයිතිය ද ඒ අනූව ලබාදුන් බව මැතිවරණ මහලේකම් කාර්යාලය කියයි.


ඉකුත් රජය යටතේ ෆොන්සේකා මහතාට කලක් ඡන්ද අයිතිය අහිමිව තිබිණ.