යතුරු පැදිය වෑන් රථයේ ගැ‍ටී 1ක් මරුට

ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉඳුරුව ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ගාල්ල සිට කොළඹ දෙසට ධාවනය වු යතුරුපැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.


අනතුරෙන් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු කළුතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.


මියගොස් ඇත්තේ 38 හැවිරිදි කටුකොලිය, ඉඳුරුව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.


අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



ෆයිසර් මුස්තාෆා අමාත්‍ය ධුරයට සමුදෙන්න යයි

ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට බලාපොරොත්තු වන බව ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

ඔහු පවසන්නේ නීතීඥවරයෙකු ලෙස පූර්ණකාලීනව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බැවින් තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට අදහස් කර සිටින බවයි.


රාජ්‍ය අමාත්‍ය ධුරයේ රාජකාරී සිදුකරන අතර තුර නීතීඥ වෘත්තියේ යෙදීමේ දී ගැටලු මතුවන බැවින් මෙම තීරණයට එළඹි බව ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.


කෙසේ වෙතත් නව රජයේ දින සියයේ වැඩපිළිවෙළට පූර්ණ සහයෝගය ලබාදෙන බව ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා සඳහන් කළේය.


මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී ඔහු සඳහන් කළේ තමා අමාත්‍ය ධුරයෙන් ඉවත්වුව ද ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් නොවන බවයි.



ගල්කිස්සේ දෙපිරිසක් අතර ගැටුමක් - අයෙක් මරුට

ගල්කිස්ස ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ඊයේ(31) රාත්‍රී ප්‍රදේශයේ හෝටලයක් තුළ දී පාර්ශව දෙකක් අතර ගැටුමක් හටගෙන ඇති බව පොලීසිය පැවසුවේය.


එහිදි බරපතළ ලෙස කැපුම් තුවාල ලැබු පුද්ගලයෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.


මියගොස් ඇත්තේ 39 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.


පාර්ශව දෙකක් අතර කලක සිට පැවති ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුව ඇති බවට පොලීසිය සිදුකළ මූලික විර්ශනවලදී අනාවරණය වී තිබේ.


ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය මෙහෙයුම් ආරම්භ කර ඇති බව සඳහන්ය.



අද සිට නව බස් ගාස්තු ක්‍රියාත්මකයි

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව අද(01) සිට නව බස් ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව පෞද්ගලික සහ ලංගම බස් රථ සඳහා 8%ත් 10%ත් අතර ප්‍රමාණයකින් බස් ගාස්තු අඩු කර තිබේ.


රුපියල් 9ක් වු අවම බස් ගාස්තුව රුපියල් 8 දක්වා අඩුව ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය.


රුපියල් 13 බස් ගාස්තුව රුපියල් 12 දක්වා ද රුපියල් 17 බස් ගාස්තුව රුපියල් 15 දක්වා ද අඩුවෙයි.


රුපියල් 20 සිට රුපියල් 34 දක්වා පෙර පැවති බස් ගාස්තුව රුපියල් 3කින් පහළ යන අතර රුපියල් 37 සිට රුපියල් 59 දක්වා පෙර පැවති ගාස්තු රපියල් 4කින් පහළ යනු ඇත.


මේ අතර ත්‍රිරෝද රථ කුලී ගාස්තු සහ පාසල් ළමුන් ප්‍රවාහන වෑන් රථ ගාස්තු අද සිට අඩු වෙයි.


ඒ අනුව ත්‍රිරෝද රථ කුලී ගාස්තු 10%කින් සහ පාසල් ළමුන් ප්‍රවාහන වෑන් රථ ගාස්තු 5%කින් අඩු වනු ඇත.



නව අගවිනිසුරු පත්වීම ගැන ටි.එන්.ඒ ප්‍රසාදය

නව අගවිනිසුරුවරයාගේ පත්වීම තුළින් වත්මන් රජය රටේ සියලු ජාතීන්ට සමානාත්මතාවයෙන් යුතුව සලකන බවට ඉඟි පලවී ඇති බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේෂ්වරන් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ 44 වන අගවිනිසුරුවරයා වශයෙන් කේ.ශ්‍රී පවන් මහතා පත්කිරීම පිළිබඳ තමන් ඇතුළු දෙමළ ජාතික සන්ධානය ද දැඩි සතුට පල කරන බවයි.


නව අගවිනිසුරුවරයා පත්වීම තුළින් රටේ නීතිය හා සාධාරණත්වය පිළිබිඹු වන බව සි.වි.විග්නේෂ්වරන් මහතා ඊයේ ප්‍රකාශ කර තිබේ.


මෙම තත්ත්වය, නව රජය ජාතීන් අතර සුහදතාව ආරක්ෂා කිරීමට යම් කැප කිරීමක් සිදුකරන බව ක්‍රියාවෙන් ඔප්පු කිරීමක් වශයෙන් පෙනෙන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වාදෙයි.



නිශා බිස්වාල් හෙට එයි

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය හෙට(03) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන ඇය ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා කරනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.


අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වීමට ද නියමිතය.


නිශා බිස්වාල් මහත්මිය නව රජය බලයට පත්වීමෙන් පසු දිවයිනට පැමිණෙන ඉහළම අමෙරිකානු නිලධාරිනිය ද වෙයි.


මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලිය මහලේකම් කමලේෂ් ශර්මා මහතා ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.


කමලේශ් ශර්මා මහතා ඊයේ දහවල් දිවයිනට පැමිණියේය.


පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරයා මෙම සංචාරය තුළදී මේ වසරේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව පිළිබදව සාකච්ඡා කිරිමට නියමිතය.


මේ වනවිට පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතීත්වය ශ්‍රී ලංකාව විසින් දරනු ලබන අතර එය මෙම වසරේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩයේදී මෝල්ටා රාජ්‍යයට හිමිවනු ඇත.



සඳුදා විශේෂ පාර්ලිමේන්තු සැසියක්

ලබන සඳුදා දිනයේ විශේෂ පාර්ලිමේන්තු සැසියක් පැවැත්වීමට කථානයක චමල් රාපක්ෂ මහතා තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.


ඒ අනුව ලබන සදුදා දිනයේ දී පස්වරු 2.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.


මෙහිදි මේ දක්වා අගවිනිසුරු ධූරයේ කටයුතු කළ මොහාන් පීරිස් මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂය ඉල්ලා සිටි විවාදය පැවැත්වෙනු ඇත.