ඌවේ පරිපාලනය ගොඩනඟන්න එජාපය හා ජවිපෙ සමග එක්වෙන්න පුළුවන්

ඌව පළාත් සභාවේ පරිපාලනය පිහිටුවීම පිණිස එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ සමඟ එක්වීමට සූදානම් බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසා තිබේ.

බී.බී.සී පුවත් සේවය සමග අදහස් දක්වමින් ඔහු මේ බව පවසා ඇත.


ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ බණ්ඩාරවෙල නගරයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක් අතරතුර බීබීසී සංදේශයට විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා තිබේ.


ඌව පළාත් සභා මැතිවරණයේදී කිසිදු තනි පක්ෂයකට තනිව පරිපාලනය පිහිටුවීමට නොහැකි වනු ඇති බව ඇතැම් විචාරකයන්ගේ මතය බව පැවසේ.


ඒ පිළිබඳව කළ විමසුමකට පිළිතුරු දෙමින් හිටපු හමුදාපතිවරයා පවසා ඇත්තේ, පළාත් සභාවේ පාලන ලබා ගැනීම පිණිස විරුද්ධ පක්ෂයේ පක්ෂවලට තම සහාය හිමිවන බවයි.


"අනිවාර්යයෙන්ම. විපක්ෂයේ ප්‍රබල පක්ෂ වන ජනතා විමුක්ති පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව රජයට විරුද්ධව පාලනයක් පිහිටුවීමට ඕනෑම වෙලාවක එකට වැඩකරන්න පුළුවන් පක්ෂ," යනුවෙන් ඔහු එහිදී සඳහන් කර ඇත.


විපක්ෂයේ පක්ෂවලට ඇත්තේ පොදු අරමුණක් බව පවසා ඇති සරත් ෆොන්සේකා හිටපු හමුදාපතිවරයා, විවිධ වේදිකාවල සිටියත් ඔවුන් සියල්ලන්ගේම අවශ්‍යතාවය මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කිරීම බවත් සඳහන් කර තිබේ.


බණ්ඩාරවෙල නගරයේ පැවති ජන රැළියේදී ආණ්ඩුව සහ ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කළ සරත් ෆොන්සේකා, විපක්ෂයේ පක්ෂවලට විවේචනයක් එල්ල නොකිරීම එහි දක්නට ලැබුණ විශේෂත්වයක් බවද පැවසේ.


සරත් ෆොන්සේකා හමුදාපතිවරයා ලෙස සේවය කළ සමයේ එල්ල වූ එල්.ටී.ටී.ඊ බෝම්බ ප්‍රහාරයට ලක් වූ ඔහුගේ මෝටර් රථයත් මෙම රැළියට සමගාමීව බණ්ඩාරවෙල නගරයේ ප්‍රදර්ශනය කර ඇත.



Post a Comment