පෙ.ව 11.38ට පැමිණි බෝයිං 747 දරණ ගුවන්යානයෙන් හෙතෙම පැමිණි බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.
චීන ජනාධිපතිවරයා සමග 170 ට අධික දූත පිරිසක්ද පැමිණි වග සඳහන්ය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව චීන ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරන අතර චීන ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙනුයේ වසර 28 ට පසුවය.
මීට පෙර 1986 වසරේ දී ලී ෂියානීන් චීන ජනාධිපතිවරයා මෙරට සංචාරය කර ඇත.
වර්තමානයේ මෙරට ක්‍රියාත්මක විශාලතම සංවර්ධන ව්‍යාපෘති රැසක හිමිකාරීත්වය දරනු ලබන්නේ චීනය වන අතර දක්ෂිණ අධිවේගී මාර්ගය, හම්බන්තොට වරාය, නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය, මත්තල ගුවන්තොටුපළ, කටුනායක අධිවේගී මාර්ගය, මොරගහකන්ද වාරිමාර්ග ව්‍යාපෘතිය, නෙළුම්පොකුණ රඟහල ඉන් කිහිපයකි.
චීන ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ දී දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබේ.
නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ තෙවන අදියර විවෘත කිරීම, ගාලු මුවදොර නව වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම චීන ජනාධිපතිවරයා විසින් සිදුකිරීමට නියමිතය.
Post a Comment