ජනපතිට එරෙහිව කළු කොඩි ඔසවන්න කරුණානිධි ලෑස්තියි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සමුළුව ආමන්ත්‍රණය කරන දිනය‘කළු දිනයක්“ලෙස සලකා කටයුතු කරන ලෙස තමිල්නාඩුවේ හිටපු ප්‍රධාන අමාත්‍ය,ඩී.එම්.කේ පක්ෂ නායක එම්.කරුණානිධි තමිල්නාඩු වැසියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

පසුගිය අගෝස්තු මස 26 වන දින පැවති ටෙසෝ සංවිධානයේ මහ සමුළුවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හෝ ශ්‍රී ලංකාව නියෝජිතයෙකුට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහසමුළුවට සහභාගිවීමට හෝ එය ආමන්ත්‍රණය කිරීමට අවස්ථාව ලබානොදිය යුතු බවට යෝජනාවක් සම්මත කර ගෙන තිබුණි.


එම යෝජනාව ඉන්දීය මධ්‍යම රජයට යොමු කරනු ලැබුවද එ පිළිබඳ කිසිදු තැකීමක් සිදුනොකළ බවද එම්.කරුණානිධි විසින් අද(16) නිකුත් කළ නිවේදනයක සඳහන්ය.


තම විරෝධය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලියුමක් මගින් දන්වා මහින්ද රාජපක්ෂ මහතාට යවන ලද ආරාධනාපත්‍රය යළි ලබාගන්නා ලෙස බලකරනු ලැබූවද ඒ පිළිබඳ හෝ සාධනීය ප්‍රතිචාරයක් නොදැක්වූ බව නිවේදනයේ කියැවෙයි.


ඒ නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එක්සත් ජාතීන්ගේ මහසමුළුව අමතා කතා කරන සැප්තැම්බර් මස 26 වන දින තමිල්නාඩුවේ නිවෙස්වල කළු කොඩි ඔසවා,කළු ඇඳුම් ඇඳ විරෝධතා පවත්වන ලෙස කරුණානිධි විසින් ඉල්ලා සිටින වග ඉන්දීය පුවත් සේවා උපුටා දක්වයි.



Post a Comment