දුම්රියට පැන්න ජා-ඇළ සිසුවිය හා උගත් ගුරුවරු

ගෞතම බුදුන්වහන්සේගේ දේශනාවෙන් කියැවෙන්නේ දිවිනසා ගැනීම පාපකර්මයක් බවය. නීතියට අනුව නම් දිවිනසා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි. 

එහෙත් මෙරට සිදුවන දිවිනසා ගැනීම් දිනෙන් දින ඉහළ යමින් පවතී. ප්‍රශ්නවලට විසඳුමක් ලෙස දිවිනසා ගැනීම තෝරා ගනු ලබන අය අතර නූගතුන්ට වඩා සිටින්නේ උගත් යැයි සැලැකෙන පිරිස් වීම මෙහිලා කැපී පෙනේ. 

උගතුන් වුවද බුද්ධිමත්ව කටයුතු කිරීමට අපොහොසත් වීම නිසා දිවිනසා ගැනීම ඔවුන්ගේද තෝරා ගැනීම වී ඇත. උගතුන් නිර්මාණය කරන ගුරුවරුන් පවා මන්දබුද්ධිකයන් ලෙස හැසිරෙන යුගයක ඒ ගැන පුදුම විය යුතු නැත.

ජා-ඇළ ප්‍රදේශයේ පාසලක සිසුවියක දුම්රියට පැන දිවිනසා ගැනීමේ වරද පැවරී ඇත්තේ ඒ පාසලේ ගුරුවරුන් කිහිපදෙනකුටය. සිසුවිය සම්බන්ධ

යෙන් ප්‍රශ්නයක් උද්ගත වූවා නම් ඔවුන් ක්‍රියා කළ යුතුව තිබුණේ මීට වඩා වගකීම් සහගතවය. 

අඩුම තරමින් ඇගේ මවුපියන්වත් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට විදුහල්පතිවරයා ප්‍රමුඛ ගුරුවරුන් කටයුතු කර නැත. සිසුවියගේ නිවෙසට පවා ගුරුවරියන් දෙදෙනකු පැමිණ තිබුණද නිශ්චිත තොරතුරක් මවුපියන් හෝ ඥාතියකු හෝ නොදැන සිටීමෙන් පෙනෙන්නේ ගුරුවරියන්ටද එහිලා සැඟවීමට යමක් තිබුණු බවය. 

'සිසු විනය' ගැන කතා කිරීම පසෙක දමා 'ගුරු විනය' ගැන වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවී ඇති බව පෙනේ. ඇත්තෙන්ම එය කනගාටුදායක තත්ත්වයකි.

කෙසේ වුවද; කුරුණෑගල පාසල් සිසුවියක ගෙල වැලලාගෙන දිවිනසා ගත්තේද 'මුහුණු පොතේ' පළවූ සිසුවියකගේ ඡායාරූපයක් සම්බන්ධ යෙන් චෝදනා නඟමින් කරන ලද යකා නැටිල්ලක් හේතුවෙනි. 


කොළඹ ප්‍රධාන පෙළේ පාසල් සිසුවියක පාසල තුළදීම ටයිපටියෙන් එල්ලී දිවි නසාගෙන තිබුණේද, ඇගේ ජංගම දුරකතනයේ තිබූ ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් ගුරුවරියන්ගේ ප්‍රශ්න කිරීමක් දුරදිග යෑම නිසාය. කී නොකී මේ සියලු සිද්ධීන්වලදී ගුරුවරුන් කටයුතු කර තිබුණේ වගකීම් රහිත නොමේරූ පිරිසක් ලෙසිනි.

හිරිමල් යෞවනයේ පසුවන පාසල් දරුවන් සමඟ ගනුදෙනු කිරීමේදී අතිශයින් පරිස්සම් විය යුතුය. විරුද්ධ ලිංගිකයන් ගැන අවධානය යොමු කිරීමට පෙලෙඹෙන මේ වයසේ පසුවන්නන්ගේ ආදර සම්බන්ධතා හා ඒ සම්බන්ධයෙන් උද්ගතවන ප්‍රශ්නවලදී ගුරුවරුන් අතිශයින් කල්පනා කාරී විය යුතුය. 


ගුරුවරුන් පමණක් නොව මවුපියන් වුවද තම ආවේග පාලනය කර ගනිමින් විවේක බුද්ධියෙන් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණකි. එහෙත් පසුගිය කාලයේදී පාසල් සිසු - සිසුවියන් සම්බන්ධව මතුවූ මෙවැනි ප්‍රශ්න හමුවේ බොහෝ විට ගුරුවරුන් හැසිරුණු ආකාරය තුට්ටුවක්වත් වටින්නේ නැති බව කීම අසාධාරණ නොවේ. 

බොහෝ ගුරුවරුන් මෙන්ම මවුපියන්ද දරුවන්ගේ ප්‍රශ්න ඉදිරියේ හැසිරෙන්නේ ඔවුන් කිසිදිනක යෞවන වියේ පසුවූවන් නොවන ලෙසය. කනගාටු විය යුත්තේ එවැනි වැඩිහිටියන් ගැන නොව ඔවුන්ගේ සෙවණේ පසුවන දරුදැරියන් ගැනය.

වර්තමානයේ ගුරුවරුන්ගේ භූමිකාව ප්‍රශ්න කළ යුත්තේ මේ නිසාය. ගුරුවරයා යනු මිනිසුන් හැඩගස්වන පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ මිනිසෙකි. පාසල් විවෘත කරන විට සිරගෙවල් වැසෙන බව කියන්නේ ඒ නිසාය. 


ජාතියේ කොඳුනාරටිය බඳු බාල පරපුරට නව ජීවනයක ජීව ගුණය ලබාදෙන ගුරුවරයා ශාස්ත්‍ර ඥානය ලබාදෙන්නේ පැයවලින් මැන හෝ තරාදියෙන් කිරා හෝ නොවේ. පුරාණයේ සිටි දිසාපාමොක්ලා සිය ජීවිතය කොට සැලැකුවේ ශිෂ්‍ය පරපුරය. 

'අහිංසක' සිසුවා අංගුලිමාලයකු කිරීමට තරම් දිසාපාමොක් භූමිකාව ප්‍රබල විය. නිසි ගුරු ඇසුර නොලබන සිසුවා යන්නේ නොමඟටය. එවැනි දරුවන් මරුවන් බවට පත්වීමට ඇත්තේ වැඩි ඉඩකඩකි. ජා-ඇළ සිසුවියගේ සිද්ධිය වැනි දිවිනසා ගැනීම්වලට ගුරුවරුන්ට ඇඟිල්ල දිගු කිරීමේ වැරැද්දක් නැත්තේ ඒ නිසාය.

IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

Post a Comment