දිල්ලියේ වෛද්‍ය ශිෂ්‍යාව සමූහ දූෂකයන්ට මහාධිකරණයෙන් මරණ දඬුවම් නියමවෙයි

ඉන්දියාවේ අගනරය වන දිල්ලියේදී වෛද්‍ය ශිෂ්‍යාවක සමූහ දූෂණයකට ලක්කිරීම හා ඇය මරා දැමීම යන චෝදනාවන්ට වැරදිකරුවන් වූ පුද්ගලයන් හතර දෙනාට නියම වූ මරණ දණ්ඩනය දිල්ලි මහාධිකරණය විසින් පිළිගෙන තිබෙනවා. මුකේෂ් සිං, විනේ ෂර්මා, ආක්ෂේ තකූර් සහ පවාන් ගුප්තා යන අය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මෙසේ වරදකරුවන් බවට පත්ව තිබෙනවා.

මෙම නඩුවේ පස්වැනි සැකකරු සිරමැදිරිය තුළම ගෙලවැළලාගෙන සියදිවි හානිකර ගෙන තිබුණු අතර, හයවැනි සැකකරු එවකට වයස අවුරුදු 18 සම්පූර්ණ නොකළ බාල වයස්කරුවෙකු ලෙස සලකා වසර 3ක සිරදඬුවමකට යටත් විය.

දිල්ලි මහාධිකරණයේ රීවා කේත්‍රාපාල් සහ ප්‍රතිභා රානි යන විනිසුරුවන් විසින් මෙම සැකකරුවන්ට එරෙහි මරණ දණ්ඩනය පිළිගනු ලැබූ අතර, මෙය අධිකරණ ඉතිහාසයේ දුර්ලභ ගණයේ දුර්ලභම නඩුවක් බව පවසා සිටියහ.


මරණ දණ්ඩන නිර්දේශය පිළිගන්නා අතරම, වැරදිකරුවන් සම්බන්ධයෙන් අභියාචනා පිළිනොගන්නා බවද විනිසුරුවන් පැවසූ බව පී.ටී.අයි. පුවත් සේවය පවසා තිබුණි.

23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව 2012 වසරේ දෙසැම්බර් මාසයේදී මෙම අභාග්‍ය සම්පන්න ඉරණමට මුහුණ පැවේ චිත්‍රපටයක් නරඹා තම මිතුරෙකු සමග බස් රථයකින් නිවෙස බලා පැමිණෙමින් සිටියදීය.

ඇයගේ මරණය ඉන්දියාව තුළම දැඩි තැතිගැන්මක් ඇති කළ අතර, ඉන්දියාවේ කාන්තා හිංසනයට එරෙහිව විශාල විරෝධයක් රට පුරා පැන නැඟුනේය.

මේ තත්ත්වය තුළ ස්ත්‍රී දූෂණයන්ට එරෙහි නීති දැඩි කිරීමට ඉන්දියාව කටයුතු කළ අතර, මේ සම්බන්ධයෙන් සමාජ කතිකාවත් ඇති විය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment