කාන්තා ව්‍යවසායකයන්ට ඇප-පොලී නැතිව ණය - Loan for women entrepreneurs

බැංකු ණය ලබාදෙන වයස් සීමාව අවු. 68 දක්වා දික් කැරේ
ලක් ඉතිහාසයේ පළමු වතාවට පොලී හා ඇප රහිතව සියලුම කාන්තා ව්‍යවසායිකාවන්ට රුපියල් ලක්ෂ දෙකහමාරක ණය මුදලක් කඩිනමින් ලබා දෙන්නැයි මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා බැංකු බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉකුත්දා සිය නව වැනි (9) වැනි අය වැය වාර්තාව ඉදිරිපත් කරමින් කළ මේ යෝජනාව කඩිනමින් ක්‍රියාවට නංවන්නැයි ප්‍රාදේශීය සංවර්ධන බැංකුවටත්, ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවටත් තමා උපදෙස් ලබා දුන් බවද ලේකම්වරයා  ප්‍රකාශ කෙළේය. ලබන වසරේ ජනවාරි මස 01 වැනිදා සිට රට පුරා පිහිටි ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ඕනෑම ශාඛාවකින් මේ ණය මුදල ලබාගැනීමට කාන්තා ව්‍යවසායිකාවන්ට පහසුකම් සලසන්නැයි ද තමා උපදෙස් ලබා දුන් බව ද ලේකම්වරයා කීය.

ඉදිරි දෙවසර (2014 – 15) කාන්තා ව්‍යවසාය සංවර්ධනය කරන කාලපරිච්ඡේදයක් සේ සලකා දිරිමත් කාන්තා ව්‍යවසායිකාවන් ළඟටම ගොස් මේ ණය මුදල් ප්‍රදානය කිරීමට බැංකු නිලධාරීහු කටයුතු කරනු ඇතැයි ද ලේකම්වරයා බලාපොරොත්තු පළකෙළේය.
බැංකු මඟින් ණය ලබාදීමට සුදුසුකම් ලබන කාන්තා ව්‍යවසායිකාවන් තෝරාගැනීමේදී දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ගොවිජන සේවා දිස්ත්‍රික් කොමසාරිස්වරුන්, නියෝජ්‍ය හා සහකාර කොමසාරිස්වරුන්ගේ සහාය ලබා ගන්නැයි ද ලේකම්වරයා බැංකුකරුවනට උපදෙස් දී තිබේ.

කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා යන අංශ තුනේම නව ව්‍යාපාර, පවත්නා ව්‍යාපාර වැඩිදියුණු කැර ගැනීමට මේ මුදල් වහාම ප්‍රදානය කරන්නැයි ද, බැංකුකරුවන්ගේ සේවා කාර්යක්ෂමව සිදු කරන්නැයි තමා ඉල්ලා සිටි බව ද ආචාර්ය ජයසුන්දර මහතා කීය.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපතිනි කේෂලා ජයවර්ධන මහත්මිය, "කාන්තා ව්‍යවසායිකාවන් දියුණු කිරීමට කැපවෙන තම බැංකුව මේ කටයුත්ත සිදුකිරීමට තෝරාගැනීම පිළිබඳ ස්තූතියත්, ගෞරවයත් අතිගරු ජනාධිපතිතුමාටත්, රජයටත් පිරිනමන බව ප්‍රකාශ කළාය.

පවුලක තිරසාර සංවර්ධනයේ මුල් පුරුක කාන්තාවෝයි. මේ නිසා කාන්තාව ඉලක්ක කොට ඔවුන් දියුණු කිරීමට අය-වැයෙන් යෝජනා කිරීම ගැන සමස්ත කාන්තා පරපුර රජයට ස්තූති කළ යුතු යැයි සභාපතිතුමිය කීවාය.

 "දිනමිණ"

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment