වාර්තාව පමාවීම ඉතා හොඳයි


ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයට ලබන මස ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ යුද අපරාධ සම්බන්ධ වාර්තාව පමා කිරීම ඉතා සුදුසු තීරණයක් බව ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ලෝරා ඩේවිස් මහත්මිය පවසයි.


යුද අපරාධ සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ වාර්තාව මේ වසරේ සැප්තැම්බර් දක්වා කල්දැමීමට ජගත් මානව හිමිකම් මහකොමසාරිස් සෙයිඩ් රාඩ් සෙයිඩ් අල් හුසේන් තීරණය කළ බව පසුගියදා වාර්තා විය.


විදේශ ඇමති මංගල සමරවීර මහතා නව රජ‍ය බලයට පත්වීමෙන් පසු රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන අමෙරිකාව ප්‍රමුඛව, ජගත් සංවිධානයේ මහලේකම් හා ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරයා දැනුවත් කිරීමට ද පසුගියදා පියවර ගෙන තිබුණි.


එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ වාර්තාව සයමසකින් ප්‍රමාද කිරීමට ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරයා තීරණය කළ අතර සැප්තැම්බරයේ පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරයට එය අනිවාර්යයෙන් ඉදිරිපත් කරන බව පවසා තිබිණ.


මේ ගැන අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය පවසන්නේ නව රජය, දේශීය වගවීමේ ක්‍රියාවලිය, සංහිඳියාව ගොඩනැඟීම තුළින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ප්‍රමාණාත්මක නැඹුරුවක් ප්‍රදර්ශනය කර ඇති බවයි.


ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව සැකසීම සඳහා තොරතුරු ලබාදුන් පුද්ගලයින් ඒ ගැන අවධානයෙන් බලා සිට එය ප්‍රමාද කිරීම ගැන දුෂ්කරතාවයට පත්වුවත්, එම තීරණය නිවැරදි බව ඇය සඳහන් කරයි.



වැරදිලා මගේ වාහනයකුත් උස්සලා - රත්තරන් ‍දොස් කියයි


ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබී අතුරුදන් වූ වාහනයක් යැයි සිතා තමාට අයත් කැබි රථයක් පොලීසිය විසින් රැගෙන ගොස් ඇති බව දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරන් චෝදනා නඟයි.


කාර්මික දෝෂයක් නිසා අලුත්වැඩියා කිරීමට කුරුණෑගල පෞද්ගලික ආයතනයකට දී තිබූ එම වාහනය අද පෙරවරුවේ පොලීසියෙන් පැමිණි පිරිසක් රැගෙන ගොස් ඇති බව හෙතෙම කියයි.


එම ස්ථානයේ තිබුණු වාහන 5ක් ඒ ආකාරයට ගෙන ගොස් ඇති බවත්, ඉන් එකක් තමාට අයත් කැබ් රථයක් බවත්, ඔහු පවසයි.


එහි සිටි සේවකයින් තමාට මේ බව දැනුම්දුන් බවද පොලීසියෙන් පැමිණ තමාගේ වාහනය ඇතුළු වාහන 5ක් රැගෙන ගොස් ඇති බවද පළාත් සභා මන්ත්‍රීවරයා සඳහන් කරයි.


මෙය මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් යැයිද ඒ අනූව තමන් මීට අදාළව පියවරක් ගන්නා බවද ඒ මහතා කියයි.


මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ කුරුණෑගල පොලීසියේ සම්බන්ධයක් ඊට නැති බවද වෙනත් නිලධාරීන් පිරිසක් එහි ගියාදැයි මෙතෙක් දැන ගැනීමට නැති බවයි.



“මමත් ටිකක් කලකිරීමෙන් ඉන්නේ”


තමාද පසුගිය ආණ්ඩුවේ සිටි කෙනෙක් බවත්, අනවශ්‍ය දේවල් වලට ඔළුව නමන්න බැරිනිසා එම රජයෙන් ඉවත් වූ බවත්, වරාය හා නාවුක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (20) පෙරවරුවේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පැවසීය.


දේශපාලන බලපෑම්, මැදිහත්වීම්වලින් තොරව රාජ්‍ය ආයතනවලට කටයුතු කරගෙන යාමට ඉඩ දිය යුතු බවට නව රජය තීරණය කර ඇති බවද ඒ මහතා එහිදී කියා සිටියේය.


කෙසේ වුවද “මමත් ටිකක් කලකිරීමෙන් ඉන්නේ‍ හොරුන්ට දඬුවම්දීම ප්‍රමාද නිසා” යැයිද ඇමතිවරයා පැවසීය.


එසේම විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඇතැමුන් තමාට දුරකථනවලින් හා වෙනත් ක්‍රමවලින් දැනුම් දෙන බවද, “ඇස්වලින් බලලා මගේ අත්දෙකෙන් අත ගාලා තමයි” තමන් ඒ ගැන පියවරක් ගන්නේ යැයිද රණතුංග මහතා ප්‍රකාශ කළේය.


“මම අහිංසක නෑ වැරදිකරුවන් කවුරු වුණත් ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙයි. ජනපතිවත් අගමැතිවත් මේ ආයතනවලට අතගහන්න එන්නේ නෑ. ආයතන ඇතුළේ දේශපාලන කරන්න එපා. මම දේශපාලන පවුලක ඉපදුණ නිසා අවශ්‍ය විදියට නිවැරදි තීරණ ගන්නවා. මේවායේ අනවශ්‍ය වියදම් අවම කරන්න. හොරකම් නතර කරන්න” යැයි ඒ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.



ව්‍යවස්ථා සංශෝධනය ප්‍රධාන අංශ 3ක් යටතේ කරනවා


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රධාන අංශ 3 කින් සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


ඔහු පවසන්නේ විධායක ජනාධිපති සතු ඇතැම් බලතල ඉවත් කිරිමද ඊට ඇතුළත් වන බවයි.


කෙසේ වෙතත් විධායක ජනාධිපති සතු බලතල බොහොමයක් ඉවත් කළද වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලයට පමණක් වලංගුවන ලෙස ඇතැම් බලතල එලෙසම ලබාදීමේ එකඟතාවක් ද පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදෙයි.



ඒ-26 පාර උඩුදුම්බරින් වැසෙයි



ඒ -26 මහනුවර-මහියංගණය මාර්ගයේ 18 වංගුව ආසන්නයේ උඩුදුම්බර ප්‍රදේශයෙන් අවහිර වී තිබේ.

උඩුදුම්බර ප්‍රදේශයේ පස් කඳු කඩා වැටීම හේතුවෙන් මෙලෙස මාර්ගය අවහිර වී ඇති බවත්,විකල්ප මාර්ග භාවිතා කළ යුතුව ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.



කුමාර් ගුණරත්නම් ඉන්නේ කොහේදැයි ඇහුවා



ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හා පොලීසියේ යැයි කියා පිරිසක් පන්නිපිටියේ පිහිටි සිය පක්ෂ කාර්යාලයට අද සවස පැමිණ කුමාර් ගුණරත්නම් සිටින්නේ කොහිදැයි තමාගෙන් ප්‍රශ්න කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර මහතා කියයි.

ඔහු කියා සිටියේ ඔවුන් කිසිදු නීත්‍යනුකූල ලියැවිල්ලක් නැතිව කාර්යාලයයට ඇතුළු වූ බවයි.


එසේම තමාගේ කාර්ය මණ්ඩලයෙන්ද ප්‍රකාශ ලබාගෙන ඇති බව ඒ මහතා පැවසීය.


ඒ අනූව තමන් මේ පිළිබදව පොලිස්පතිවරයාට ලිපියකින් ඒ බව දැනුම්දුන් බව ඔහු කියා සිටියේය.


කෙසේ වුවද මේ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතාගෙන් විමසා සිටි අවස්ථාවේදී ඒ මහතා කියා සිටියේ ඔය කියන සිද්ධිය හා පොලීසියේ නිලධාරීන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවයි.


ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් රැදී සිටින පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් රටින් පිටුවහල් කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝගයක් ලබාදුන් අතර ඔහුට අද ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණ අදාළ ලියකියවිලි බාරගන්නා ලෙසට දැනුම්දී තිබිණ.


කෙසේ වෙතත් ඔහු එම දෙපාර්තමේන්තුවට ගොස් එකී ලියකියවිලි බාරගත් බවක් අද සවස් වන තුරු වාර්තා නොවුණි.


පහත දැක්වෙන්නේ අජිත් කුමාර මන්ත්‍රීවරයා විසින් පොලිස්පිතවරයා වෙත යැවූ ලිපියයි.