යතුරු පැදි‍ දෙකක් ගැටී දෙන්නෙක් මරුට

නාරම්මල - මාදම්පේ මාර්ගයේ බරිගොඩ ප්‍රදේශයේ දී සිදුවු යතුරුපැදි අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අද අළුයම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.


අනතුරෙන් බරපතළ තුවාල ලැබු යතුරු පැදිකරුවන් දෙදෙනා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරිමේ දී මියගොස් තිබේ.


මියගොස් ඇත්තේ 28 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු සහ 31 හැවිරිදි නාරම්මල නක්කවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.


අනතුරෙන් තුවාල ලැබු තවත් පුද්ගලයින් දෙදෙනෙකු කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.



අධිවේගයෙන් කසළ තේ ඇද්ද දෙන්නෙක් මාට්ටු

කසළ තේ කිලෝග්‍රෑම් 6000ට වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දක්ෂිණ අධිවේගි මාර්ගය ඔස්සේ අම්බලන්ගොඩ සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් පොලිසිය විසින් පරික්ෂා කිරිමේ දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ අදාළ ලොරියේ තිබී කසළ තේ කිලෝග්‍රෑම් 6355ක් පොලිස් බාරයට ගෙන තිබේ.


සැකකරුවන් 42 හැවිරිදි සහ 55 හැවිරිදි දොලොස්බාගේ හා මුරුතගහමුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පැවසුවේය.



සන්ධාන කටවුට් ගැන ඇසූ පොලිස් නිලධාරීන්ට මරණ තර්ජන - කැෆේ

කොළඹ, බ්ලුමැන්ඩල් පාළම අසළ නීති විරෝධි ලෙස එජනිස කටවුට් සවිකරමින් සිටි පිරිසකගෙන් ප්‍රශ්න කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණ තර්ජන එල්ල වී ඇති බව කැෆේ සංවිධානය පවසයි.

පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් එම සංවිධානය නිකුත් කළ වාර්තාවක මේ බව දැක්වෙයි.


එම වාර්තාවට අනූව අද පෙරවරු 6 වන විට පැමිණිලි 629ක් ලැබී ඇත.


ඉකුත් දින කිහිපයේ සිදුව ඇති හා ඔවුන්ට වාර්තා වී ඇති මැතිවරණය ආශ්‍රිතව කැෆේ සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයක් වැඩිදුරටත් පහත පරිදිය.


2014 දෙසැ. 29 දින පෙරවරු 6 දක්වා කැෆේ සංවිධානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 629 කි. එයින් 62 ක් ප්‍රචණ්ඩක්‍රියා වන අතර, 567 ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වේ.


සෞඛ්‍ය අමාත්‍යාංශය මැතිවරණ ප්‍රචාරණයේ යෙදීම.


සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ‘ගැමි දිවියට සුව සවියක්‘ නමින් ක්‍රියාත්මක කරන ජංගම වෛද්‍ය සායන එජනිස අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා යොදාගෙන තිබේ. මෙම සායන සඳහා පැමිණෙන ජනතාවට ඖෂධ පත්‍රිකාවක් ලෙස කුඩා පොත් පිංචක් ලබා දෙන අතර එහි එජනිසයේ මැතිවරණ ප්‍රචාරක තේමාව වන “සුභ අනාගතයක්“ යනුවෙන් ද, ආවේණික සලකුණු සහ වර්ණ සංයෝගය යොදා අපේක්ෂක ප්‍රවර්ධනයක් සිදු කරයි. මෙහි විශේෂත්වය වන්නේ රෝගීන් කැටුව එන පුද්ගලයින්ට පවා මෙම ප්‍රචාරක පත්‍රිකාව ලබා දීමයි.


සෞඛ්‍ය අමාත්‍යංශයේ තෘතිය සත්කාර සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු විසින් මෙම වෛද්‍ය සායනය සඳහා ග්‍රාමීය සහා දිස්ත්‍රික් රෝහල්වලින් වෛද්‍යවරුන් කැඳවා ඇත. දෙසැම්බර් 28 වන දින අක්මීමන, මීපාවල සුදර්ශනාරාම විහාරස්ථානයේ පැවති සායනය සඳහා පැමිණි වෛද්‍යවරයෙකු මෙය දේශපාලන ව්‍යාපෘතියක් බව දැනගත් වහාම ඊට විරෝධය පළ කර තිබේ. කෙසේ නමුත් විරෝධය පළ කළ වෛද්‍යවරුන් එම ජංගම සායනයෙන් ඉවත් කර එම සායනය පවත්වාගෙන ගොස් ඇත.


මිනුවන්ගොඩ පොදු අපේක්ෂක කාර්යාලයට කඩාදමයි


මිනුවන්ගොඩ බුරුල්ලපිටිය හි පිහිටි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ කාර්යාලයට දෙසැ. 27 දින අලුයම ප්‍රහාරයක් එල්ල කොට ඇත. කාර්යාලයේ තිබූ යකඩ බට 6ක්, කොඩි 6ක්, කටවුට් 3ක් ප්‍රහාරය පැමිණි පිරිස විසින් පැහැරගෙන ගොස් ඇත. මේ සම්බන්ධයෙන් ලූෂන් නිශාන්ත මහතා මිනුවන්ගොඩ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.


උතුරු කළුතර පක්ෂ කාර්යාල 4 කට ප්‍රහාර


උතුරු කළුතර ප්‍රදේශයේ ස්ථාපනය කොට තිබූ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ කාර්යාලය හතරකට දෙසැ. 28 අලුයම ප්‍රහාර එල්ල කොට ඇත. කළුතර - හොරණ පාර දෙදියවල, උග්ගල්බඩ, දියගම සහ පනාපිටිය පිහිටි කාර්යාලය මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත. සුදු වෑන් රථයකින් මුහුණු ආවරණය කර පැමිණි පිරිස් මෙම ප්‍රහාර එල්ල කොට ඇත.


කලාගම හා ගල්කිරියාගම කාර්යාල 2 ටත් ප්‍රහාර


අනුරාධපුර, කැකිරාව, කලාගම හා ගල්කිරියාගම පිහිටි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාර්යාල දෙකකට දෙසැ. 27 අලුයම කාලයේ දී ප්‍රහාර එල්ල කොට ඇත. ගල්කිරියාගම පොලිස් ස්ථානයට පේන මානයේ පිහිටි මෙම කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය සැලසුම් සහගත ක්‍රියාවක් බවත්, ප්‍රහාරය එල්ල වන විට කිසිදු පොලිස් නිලධාරියෙකු ඒ ආසන්නයේ නොසිටීම බලවත් සැකයට හේතුවක් බවත්, එජාප පළාත් සභා මන්ත්‍රී චන්දිම මහින්දසෝම මහතා පවසයි. නිල් බලකාය මගින් ප්‍රහාර එල්ලකොට ඇතැයි මහින්දසෝම මහතා පවසයි.


අපහාසාත්මක පත්‍රිකා මුද්‍රණය කිරීම


ගම්පහ යක්කල පාරේ “ජනහඬ” නැමති මුද්‍රණාලයේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අපහාසාත්මක පත්‍රිකා මුද්‍රණය කරන බවට පැමිණිල්ලක් ලැබිණ. මෙම පත්‍රිකා මඟින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මිය සහ හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතා අපහාසයට ලක් කර ඇත. මේවා අද දිනයේ සිට රටපුරා බෙදාහැරීමේ සැලසුමක් ද පවතියි.මැතිවරණ නීති උල්ලංඝණය කරමින් රැකියා ලබාදීමේ වැඩසටහනක් පැවැත්වීමරැකියා විරහිත උපාධිධාරීන් රැකියා සඳහා ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් දෙසැ. 28 මාතර මහින්ද විජේසේකර ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.


අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ දකුණු පළාත් සභා අමාත්‍ය චන්දිම රාසපුත්‍රගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා 2500 කට ආසන්න උපාධිධාරීන් පිරිසක් පැමිණ තිබේ. ජනාධිපතිවරණ පනතේ 79 ජේදය යටතේ නිලයක්, තනතුරක්, රැකියාවක්, පොරොන්දුවක්, ලබාදීමක් හෝ ගිවිසුමක් වුවද වරදක් ලෙස සැලකේ. ජාතික තරුණ සේවා සභාව විසින් පුහුණුවන්නන්, සේවකයින්, කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් පුද්ගලයින් ද ආයතනය සතු සම්පත් ද විශාල වශයෙන් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා යොදවා ගෙන ඇත. මඩකළපුවේදී පොදු අපේක්ෂකගේ අධාර කරුවකු පැහැර ගනියි. දෙදෙනෙක් රෝහලේ


මඩකළපුව, ‍සිවනන්ද ක්‍රීඩාංගණය අසලදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආධාර කරුවන්ට දෙසැම්බර් 29 වන දින ප්‍රහාරයක් එල්ල වී ඇත. සිරිසේන මහතා සහභාගි වන ප්‍රචාරක‍ රැළිය සඳහා මඩකළපුව සිවානන්ද ක්‍රීඩාංගණයේ සැරසිලි සිදු කරමින් සිටින අතර මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.


දෙසැම්බර් 28 වන දින ප ව 3.45 ට පමණ මෙම ක්‍රීඩාංගණය අසලට පැමිණි ටී.එම්.වී.පී. සාමාජිකයින් පිරිසක් මඩකළපුව එජාප සංවිධායක කනපතිපිල්ලේ මෝහන් ඇතුළු පිරිසට තර්ජනය කර පහර දී තිබේ. පසුව මෙම ස්ථානයේ සිටි එක් එජාප ආධාරකරුවෙක් එම කණ්ඩායම විසින් පැහැරගෙන ගොස් ඇති අතර පහරදීමෙන් තුවාල ලැබු දෙදෙනෙක් මඩකළපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.


පොලිස් නිලධාරීන්ටත් මරණීය තර්ජන


කොළඹ, බ්ලුමැන්ඩල් පාළම අසල නීති විරෝධි ලෙස එජනිස කටවුට් සවිකරමින් සිටි පිරිසකගෙන් ප්‍රශ්න කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණ තර්ජන එල්ල වී ඇත.දෙසැම්බර් 28 වන දින අළුයම 1.15 ට පමණ එජනිස ආධාරකරුවන් පිරිසක් බ්ලුමැන්ඩල් පාලළම අසල දී මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරමින් කටවුට් සවිකරමින් සිට ඇත. එම අවස්ථාවේ එම ස්ථානයේ ජංගම මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඒ පිළිබඳව ප්‍රශ්න කර තිබේ. ඒ අවස්ථාවේ WP GG 2672 දරණ වෑන් රථයෙන් සහ අංක රහිත ඩිෆෙන්ඩර් රථයකින් එම ස්ථානයට පැමිණි පිරිසක් ටී පනස්හය ගිනි අවි එල්ල කර පොලිස් නිලධාරීන්ට මරණීය තර්ජන කර පළවා හැර තිබේ.



සැප බසයක් පෙරළී 10ට තුවාලයි

ගාලු පාර, වැල්ලවත්ත ඩබ්ලිව්.ඒ. සිල්වා මාවත ආසන්න ප්‍රදේශයේ දී සුඛෝපභෝගි බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිසිය පැවසුවේ අද අළුයම 05.30ට පමණ අනතුර සිදුව ඇති බවයි.


අනතුරෙන් තුවාල ලැබූවන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.


ඇල්පිටිය දෙස සිට කොළඹ දක්වා ධාවනය වූ බස් රථයක් මෙම අනතුරට මුහුණ පා තිබේ.



නවසීලන්තයට කඩුලු 8ක විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

මෙම තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය ලකුණු 441යි.


බ්‍රෙන්ඩම් මැකලම් ලකුණු 195යි.


ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 138යි.


ඉනිමක පරාජයෙන් ගැලවීමට පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව දෙවන ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 407යි.


දෙවන ඉනිමේදී දිමුත් කරුණාරත්න ලකුණු 152ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට සමත් විය.


ඒ අනූව නවසීලන්තයට තරඟය ජය ගැනීම සඳහා ලකුණු 105ක ඉලක්කයක් හිමිවූ අතර ඔවුන් කඩුලු 2ක් පමණක් දැවී ජය වාර්තා කළේය.


තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟය ලබන 3 වැනිදා ආරම්භ වීමට නියමිතය.



ජත්‍යන්තර නිරීක්ෂකයින් හෙට වැඩ අරඹයි

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර නිරික්ෂකයින් හෙට දිනයේ සිට සිය කටයුතු ආරම්භ කිරිමට නියමිත බව පැෆ්රල් සංවිධානය පවසයි.

මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් මත ආසියානු මැතිවරණ නිරික්ෂණ ජාලයේ නිරික්ෂකයින් 36 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.


ඔවුන් අද දිනයේ එක්දින පුහුණු සැසියකට සහභාගි වීමට නියමිතය.


මේ අතර මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝජිතයින්ට එල්ල වන බලපෑම් සහ කොළොන්නාව ප්‍රදේශයට අතිරේක පොලිස් නිලධාරින් යොදවන ලෙස ඉල්ලමින් පැෆ්රල් සංවිධානය පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.



ඡන්දය කල් තැබීම ගැන තීරණයක් නෑ

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මැතිවරණ දිනය කල්දැමීම පිළිබඳව මේ වන තෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

පවතින තත්ත්වය හමුවේ මැතිවරණ දිනය කල්දමන බවට ඇතැම් පුද්ගලයින් විවිධ මත පළ කළ ද එම ප්‍රකාශ වල කිසිදු සත්‍යතාවක් නොමැති බව එම කාර්යාලය සඳහන් කළේය.


කෙසේ වෙතත් මෙම තත්ත්වය දිගටම පැවතියහොත් ලබන 03 වනදා පැවැත්වෙන පක්ෂ ලේකම්වරුන්ගේ හමුවේ දි මේ පිළිබඳව සාකච්ඡා කරන බව ද මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කර සිටියේය.


මීට අමතරව 04වනදා සහකාර තේරිම්භාර නිලධාරිවරුන් සමග ද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබේ.


මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිමේ කාලය තවදුරටත් දීර්ඝ කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේය.


අතිරේක මැතිවරණ කොමසාරිස් යූ අමරදාස මහතා සඳහන් කළේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් අදාළ කාලය ලබා දි ඇති බවයි.