බෝරෝ බුදූර් විහාරස්ථානයට අයි.එස්.අයි.එස් තර්ජන!

දෙවියන්ගේ කැමැත්ත පරිදි ඉන්දුනීසියාවේ බෝරෝ බුදූර් විහාරස්ථානය විනාශ කරන බවට සිරියාවේ හා ඉරාකයේ කි‍්‍රයාත්මක අයි.එස්.අයි.එස්. ඉස්ලාමීය ආගමික ත‍්‍රස්තවාදීන් විසින් ෆෙස්බුක් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ අනතුරු අඟවා ඇතැයි ජාතික හෙළ උරුමය පවසයි.

එම පක්ෂයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මේ ගැන බෞද්ධ ලෝකයේ අවධානය යොමු විය යුතු බවයි.


අමෙරිකානු ආරක්ෂක අංශ පවා මෙම ඉස්ලාමීය සංවිධානය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කර ඇති බව පෙන්වාදෙන උන්වහන්සේ මෙම එම සංවිධානය ලෝකය තුළ සාමයට හා සංහිඳියාවට තර්ජනයක් බව අවධාරණය කරයි.


උන්වහන්සේ විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.


සිරියාවේ හා ඉරාකයේ කි‍්‍රයාත්මක අයි.එස්.අයි.එස්. ඉස්ලාමීය ආගමික ත‍්‍රස්තවාදීන් විසින් ඉන්දුනීසියාවේ බෝරෝ බුදූර් විහාරස්ථානය විනාශ කරන බවට අනතුරු හඟවා ඇත. මෙම අනතුරු හැඟවීම කර ඇත්තේ ෆෙස්බුක් සමාජ ජාලා වෙබ්අඩවි ඔස්සේය.


මෙම තර්ජනය හා අනතුරු හැඟවීම් සුළුකොට තැකිය යුතු නැත. මීට පෙර ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් පාලනය විසින් ලෝකයේ විශාලතම හිටි බුදුපිළිම වන බාමියන් බුදුපිළිම වහන්සේලා ප‍්‍රසිද්ධියේ කාලතුවක්කු ප‍්‍රහාර එල්ලකර විනාශ කළ ආකාරය අපට අමතක නැත. බෞද්ධ ලෝකයේ පමණක් නොව ශිෂ්ඨ සම්පන්න ලෝකයේ සියලු විරෝධතාවයන් නොතකා තලෙයිබාන් අන්තවාදීන් එම බුදුපිළිම විනාශ කරන ලදී.


පසුගිය කාලයේ බෞද්ධයන්ගේ ආගමික ශාස්තෘවරයාණන් වූ ගෞතම බුදුරජාණන්වහන්සේ බුද්ධත්වය ලැබු බුද්ධගයාවද මුස්ලිම් අන්තවාදීන්ගේ ප‍්‍රහාරයට ලක්විය. ශී‍්‍ර ලංකාවේ නැගෙනහිර හා ගිනිකොණදිග කලාපයේ ද මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් බෞද්ධ සිද්ධස්ථාන වෙහෙර විහාර විනාශ කිරීම පිළිබඳව පසුගිය කාලය පුරා වාර්තා විය. සිරියාවේ සහ ඉරාකයේ කි‍්‍රයාත්මක අයි.එස්.අයි.එස්. ත‍්‍රස්තවාදීන් සමග ලෝකයපුරා සිටින මුස්ලිම් කණ්ඩායම් සහ පුද්ගලයින් එකතු වී සටන්කරන බව ඇමරිකානු ආරක්‍ෂක අංශ පවා වාර්තා කර ඇත.


ශී‍්‍ර ලංකාව තුළ සිටින මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් ඔවුන් සමග සම්බන්ධකම් නොපවත්වන්නේ යැයි කාටනම් කිවහැකිද? අයි.එස්.අයි.එස්. සුන්නි මුස්ලිම් අන්තවාදීන් ඉරාකයේ මොසුල් නගරයේ පිහිටි සියවස් ගණන් පැරණි කි‍්‍රස්තියානි දේවස්ථාන බිමට සමතලා කළා පමණක් නොව එහි වාසය කළ ඉපැරණි කි‍්‍රස්තියානි ජන කොටස්ද සංහාරය කරන ලදී. තවත් පිරිස් පළවා හැරි අතර බලහත්කාරයෙන් මුස්ලිම් ආගමට හැරවීමද කරන ලදි. එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමාත්, පාප්තුමාත් ඇතුළු බටහිර ලෝකයේම ඉල්ලීම් හා විරෝධය නොතකා අයි.එස්.අයි.එස්. ත‍්‍රස්තවාදීන් එම සංහාරය තවදුරටත් කරමින් ඇත.


අයි.එස්.අයි.එස්. ත‍්‍රස්තවාදීන්ගේ කෲර මිලේච්ඡ කි‍්‍රයාකලාපයන් අද ලෝකයේ පැවැත්මට, සාමයට, සංහිඳියාවට තර්ජනයක් එල්ලකර ඇත. යුනෙස්කෝ සංවිධානය ලෝක උරුමයක් ලෙස නම්කොට ඇති ඉන්දුනීසියාවේ බෝරෝ විහාරස්ථානය දෙවියන්ගේ කැමැත්ත පරිදි විනාශ කරන බවට අයි.එස්.අයි.එල්. ත‍්‍රස්තවාදීන් කරන තර්ජනය පිළිබඳව මුළු බෞද්ධ ලෝකයේම අවධානය යොමුවිය යුතු අතර ලෝක බෞද්ධ උරුමය රැකගැනීමේ දී ශී‍්‍ර ලංකාවට පැවරී ඇති වගකීම නිසිලෙස තේරුම්ගෙන එය ආරක්‍ෂා කරගැනීම සඳහා අවශ්‍ය රාජ්‍යතාන්ති‍්‍රක පියවර ගැනීමට කටයුතු කරන ලෙසත් ඒ සඳහා ශී‍්‍ර ලංකා රජයේ විශේෂ අවධානය යොමුකරන ලෙසත් අප බලකර සිටිමු.


එමෙන්ම 1985 වසරේ දී ද බෝරෝ බුදූර් විහාරස්ථානයට ඉස්ලාමීය අන්තවාදීන් බෝම්බ ප‍්‍රහාර එල්ලකළ අතර එම විහාරස්ථානයේ ස්ථූප නමයකට හානි සිදු වූ බව සිහිපත් කළ යුතුය. ඉරාකයේ මොසුල් වල සිදුකරන කෲර මිලේච්ඡ කි‍්‍රයා පමණක් නොව අද ඉන්දුනීසියාවේ බෝරෝ බුදූර් වෙත එල්ල වී ඇති තර්ජනය පිළිබඳව ශී‍්‍ර ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාවගේ ස්ථාවරය පරීක්‍ෂාවට ලක්වන අවස්ථාවක් බැවින් මේ පිළිබඳව ඔවුන්ගේ මතය කුමක්දැයි බෞද්ධයන් ලෙස වඩවඩාත් උනන්දුවෙන් හා විමසිල්ලෙන් බලාසිටින බව අවධාරණය කරන අතර ශී‍්‍ර ලංකාව තුළ හිස ඔසවන මුස්ලිම් අන්තවාදය පිළිබඳව රජයේ ආරක්‍ෂක අංශවලත් අවධානය යොමුකරන ලෙසද ඉල්ලා සිටිමු.


තෙරුවන් සරණයි!

පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමි - නායක



ප්‍රංශ කතට අතවර කළ ලාංකිකයා යළි රිමාන්ඩ්

ප්‍රංශ ජාතික යුවළකට පහරදී ප්‍රංශ ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටි මෙම යුවළ අනුරාධපුර නගරයේ දී පසුගිය 19 වැනිදා රාත්‍රී මෙම සිදු වීමට මුහුණ දී තිබුණි.


යතුරු පැදියකින් පැමිණි සැකකරු ප්‍රංශ ජාතික යුවළට පහරදී එම කාන්තාවට ලිංගික අතවර සිදුකර ඇති බවට මුලික පරික්ෂණ වලදී අනාවරණය වු බව පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.


මේ සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව පලායමින් සිටි සැකකරු අනුරාධපුර, මිහිදුපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.


ඉදිරිපත් වු කරුණු සලකා බැලු ප්‍රධාන මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මහත්මිය සැකකරු ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බව අද දෙරණ අධිකරණය වාර්තාකරු පැවසුවේය.


එදිනට ඔහු හඳුනාගැනිමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය දැනුම් දී ඇත.



ගැටලු විසඳනවා - වර්ජනය අතහරින්න

වෘත්තිය සමිති විසින් ඉදිරිපත් කර ඇති සියලු ඉල්ලීම්වලට අදාළ පියවර ගනිමින් සිටින බැවින් වර්ජන ක්‍රියාමාර්ගය අත්හරින ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පරිපුරක වෛද්‍ය සේවා වෘත්තිකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් අමාත්‍යංශයට ගත හැකි සෑම පියවරක්ම මේ වන විට ගෙන ඇති බවයි.


පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති ඉල්ලීම් 06 සම්බන්ධයෙන් තමා අවස්ථා කිහිපයක දී අමාත්‍යංශ නිලධාරින් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා පවසයි.


ඉන් ඉල්ලීම් 03 ක් මෙ වන විට අමාත්‍ය මණ්ඩල අනුකමිටුව තුළ සාකච්ඡාවට බදුන් වෙමින් පවතින අතර ඒ සඳහා මසක් ඇතුළත සුභවාදී තීරණයක් ලබා දිය හැකි බව අමාත්‍යවරයා කියයි.


සෙසු ඉල්ලීම් ප්‍රතිපත්තිමය වශයෙන් ගත යුතු තීරණ බැවින් රාජ්‍ය සේවයේ අනිකුත් සේවාවන් සමග ගැටුම් ඇති නොවන පරිදි එම තීරණ ගැනීම සඳහා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු බව මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා පෙන්වාදෙයි.


ඉල්ලීම් 06 ක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය පෙරේදා උදෑසන සිට ආරම්භ කළ වැඩ වර්ජනයේ තෙවන දිනය අද වේ.



වී මෝල් හිමියන්ට ආනයනකරුවන්ට හා තොග රැස්කරන්නන්ට අනතුරු අඟවයි

සියලු වී මෝල් හිමියන්, ආනයනකරුවන් සහ තොග රැස්කරන්නන් තමා සතු වී සහ සහල් තොග පිළිබඳ තොරතුරු ලබන 15 දිනට පෙර ලබා දිය යුතු බව පාරිභෝගික අධිකාරිය අවධාරණය කරයි.

ඉන් පසු සති 02කට වරක් එම තොරතුරු ලැබීමට සැලැස්විය යුතු බවද එම අධිකාරිය දැනුම්දෙයි.


තොරතුරු ලබාදීම පැහැර හැරීම, ව්‍යාජ තොරතුරු ලබා දී වී සහල් තොග සන්තකයේ තබා ගැනීම පාරිභෝගික පනත උල්ලංඝණය කිරීමක් බව අධිකාරිය පවසයි.


අවශ්‍යතාවය ඉක්ම වන ප්‍රමාණයෙන් ව්‍යාපාරක ස්ථානයේ හෝ වෙනත් ස්ථානයක තබා ගැනීම ද නීති විරෝධි බව එම අධිකාරිය දැනුම් දෙයි.


පාරිභෝගික පනත උල්ලංඝණය කරමින් වී හා සහල් තොග පවත්වාගෙන යන්නේ නම් එම තොග රාජ සන්තක කිරීමට පාරිභෝගික අධිකාරියට බලය පවතින බව ද සඳහන්ය.



ඝාතනයකට සැක 3ක් අත්අඩංගුවේ

පමුණුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේ සිදුවු පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රදේශයේ නිවසක් පිටුපස පුද්ගලයෙකු ඝාතනය කර වළ දමා ඇති බවට පමුණුගම පොලිසියට ලැබුණු තොරතුරක් මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.


කොළඹ බේස්ලයින් පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය පැවසුවේය.


මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රාගම රෝහලට රැගෙන ගොස් ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



13 වෙනුවෙන් මෝඩිට ප්‍රබල මැදිහත්වීමක් කළ හැකියි

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කර ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට ශ්‍රී ලංකා රජයට බලපෑම් කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ප්‍රබල මැදිහත්වීමක් සිදුකළ හැකි බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

නරේන්ද්‍ර මෝඩිගේ නායක්වයෙන් යුත් ප්‍රබල රජයකට මෙය සිදුකිරීම අසීරූ කටයුත්තක් නොවන බව එම සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් කියයි.


ඉන්දියාවේ නිල සංචාරයක නිරත දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් සහ භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදින් හමුවේ ආර්.සම්බන්ධන් මේ බව ප්‍රකාශ කර ඇත.


13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කර පළාත් සභා වලට බලය බෙදා හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග සිදුකරන සාකච්ඡාවලින් කිසිදු ප්‍රගතියක් අත්ව නොමැති බව සම්බන්ධන් මෙහිදී ප්‍රකාශ කර තිබේ.


තම පක්ෂයේ පාලනය යටතේ පවතින උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා පත් කිරීම සම්බන්ධයෙන් හෝ තීරණයක් ගැනීමට පක්ෂයට හැකියාවක් නොමැති බව දෙමළ ජාතික සන්ධාන නායකයා ප්‍රකාශ කර ඇත.


ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර පැවති පළමු හමුවේදීම දෙමළ ජනතාව සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිවරයාගේ අවධානය යොමුවුවා සේම එම ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට නරේන්ද්‍ර මෝඩි පැහැදිලි මැදිහත්වීමක් සිදුකරනු ඇති බවට තමා බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කර ඇත.



බිරිඳව පිහියෙන් කැපූ සැමියාට මාංචු

පවුල් ආරවුලක් මත තම බිරිඳව පිහියකින් කපා කොටා තුවාල සිදු කළ බව කියන 31 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කල්පිටිය පොලීසිය කියයි.

තුවාල ලබා ඇත්තේ කල්පිටිය - වන්නි මුන්දලම පදිංචිකාරියක වන මොහොමඩ් නෙයිනා හම්සියා (අවු:30) නම් අයෙකි.


ඇය මේ වන විට කල්පිටිය දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ (27) සැකකරු සහ තුවාලකාරිය පදිංචිව සිටින නිවසේදී මෙම සිද්ධිය සිදුවී ඇති බව පොලීසිය කියයි.


අඹු - සැමියන් අතර ඇතිවූ බහින් බස් වීම දුර දිග යාමෙන් පසුව සැකකරු විසින් තම බිරිඳට පිහියකින් පහර දී ඇති බව පොලීසිය විසින් කරන ලද මූලික විමර්ශන වලදී හෙලිවී ඇත.


සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


කල්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.