තමිල්නාඩු සරණාගත කඳවුරේදී ලාංකිකයෙක් මරලා


තමිල්නාඩු සරණාගත කඳවුරක රැඳී සිටි ශ්‍රී ලාංකිකයකු ඝාතනය කර තිබේ.


තමිල්නාඩු, පුලියම්පති කඳවුරක රැඳී සිටි අදාළ ශ්‍රී ලාංකිකයා තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත.


ඝාතනයට ලක්වු පුද්ගලයාගේ මළසිරුර සරණාගත කඳවුරේ ඔහු පදිංචිව සිටි නිවසේ තිබි සොයාගෙන තිබේ.


අදාළ පුද්ගලයා අසල්වැසි කාන්තාවක් සමඟ නිරන්තරයෙන් ආරවුල් ඇතිකර ගනිමින් සිට ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී ඇති අතර එම කාන්තාව විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට එරට පොලිසිය සැක පළ කරයි.



ඔයට පැන සිසුවිය මැරිලා


උඩපුස්සැල්ලාව, කොල්ඇල්පිටිය ඔයට පැන සිසුවියක් සියදිවි හානි කරගෙන තිබේ.


අදාළ සිසුවිය ඊයේ පස්වරුවේ මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.


මියගොස් ඇත්තේ 14 හැවිරිදි උඩපුස්සැල්ලාව, කොල්ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවියකි.


ඇය සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ සම්බන්ධයෙන් උඩපුස්සැල්ලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



ඉන්දීය ධීවරයින්ට අ‍ෙප් සීමාවේ මසුන් ඇල්ලීමට ඉඩ නෑ


ධීවර පනත කඩිනමින් සංශෝධනය කර ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.


ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට ඉන්දීය ධීවරයින්ට ඉඩ දී ඇති බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.


උතුරේ දේශපාලන නියෝජිතයින් සහ ධීවර සංගම් නියෝජිතයින් සමඟ එම ජනතාවගේ ධීවර ගැටළු පිළිබඳව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකචඡාවක් පැවැත්වුණි.


එහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ උතුරේ ධීවර ගැටලුව පිළිබඳව ඉන්දීය රජය සමඟ තවදුරටත් සාකච්ඡා කළ යුතු අතර විදේශ, ආරක්ෂක සහ ධීවර අමාත්‍යංශ මේ සඳහා සම්බන්ධිකරණයක් ඇතිකර ගතයුතු බවයි.


මේ අතර මන්නාරම දිස්ත්‍රික්කයේ අවතැන් වුවන්ට ඉඩම් ලබාදීම සහ නැවත පදිංචි කරවිම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණි.


එහිදී අදාළ ඉඩම් හඳුනා ගැනීමේදී වන ඝනත්වය ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු බවට ජනාධිපතිවරයා අදාළ බලධාරින්ට උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.



මවගේ අනියම් සැමියා අවුරුදු 5ක් තිස්සේ දැරියට අතවර කරලා


වසර 05ක කාලයක් තිස්සේ බාල වයස්කාර දැරියකට වරින් වර ලිංගික අතවර සිදු කළ බව කියන සැකකරුවෙකු හලාවත පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව - වෛරන්කට්ටුව ප්‍ර‍දේශයේ පදිංචි 48 හැවිරිදි අයෙකි.


පොලිස් ඇමතුම් (119) අංශයට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.


අතවරයට පත්ව ඇති ළමයාගේ වර්තමාන වයස අවුරුදු 16 කි.


ඇයගේ පියා මිය ගොසිනි.


සැමියා මිය යාමෙන් පසුව ඇයගේ මව පුරුෂයින් දෙදෙනෙකු අනියම් සැමියන් ලෙස ඇසුරු කර ඇත.


අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මව දෙවැනි වරට ඇසුරු කළ අනියම් සැමියා බව කියයි.

සැකකරු විසින් සිදු කරන මෙම අපරාධය සම්බන්ධයෙන් දැන ගත් අයෙකු ඒ බව පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා ඇත.


සැකකාර තම සුළු පියා 2010 වසරේ සිට මව නිවසේ නොමැති අවස්ථා වලදී තමන්ට අතවර කළ බව ඇය පොලීසිය හමුවේ පවසා තිබේ.


අතවරයට පත්ව ඇති තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහා රෝහලට යොමු කර ඇත.


සැකකරු හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


හලාවත පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.



නීත්‍යානුකූලව හමුදාව හැර යන්න පොදුසමා කාලය අද සිට


නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින පිරිස් සඳහා යුධ හමුදාවෙන් නීත්‍යානූකූලව ඉවත්වීම සඳහා අද සිට ලබන 16 දක්වා පොදුසමා කාලයක් ලබාදීමට තීරණය කර තිබේ.


ඒ අනුව එම පිරිස්වලට අදාළ කාලය තුළ තම රෙජිමේන්තු මධ්‍යස්ථානයන් වෙත පැමිණ නීත්‍යානුකූලව යුධ හමුදාවෙන් ඉවත්ව යාමට අවස්ථාව ලබා දී ඇතැයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේය.


යුධ හමුදාවට අයත් දීර්ඝ කාලිනව නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින යුධ හමුදා නිලධාරින් සහ සෙසු නිලයන් යුධ හමුදාවෙන් ඉවත් කිරීමේ වැඩසටහනක් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ඒ යටතේ මෙම පොදුසමා කාලය ක්‍රියාත්මක වන බව සඳහන්ය.



කැටපත් පවුරේ ලියා සිරදඬුවම් ලැබූ මඩකළපුවේ තරුණියට ජනපති සමාව!


සීගිරිය කැටපත් පවුරේ කුරුටු ගී වලට හානි කළ බවට වැරදිකරු වී දෙවසරක සිරදඬුවමක් නියම වූ මඩකළපුවේ 27 හැවිරිදි තරුණියට ජනපති සමාව ලබාදී තිබේ.


මඩකළපුව ප‍්‍රදේශයේ පදිංචි සින්නතම්බි උදය ශ්‍රී නැමැති තරුණිය පසුගිය පෙබරවාරි 14දා ඇය සේවය කරන ඇඟළුම් කම්හලේ සාමාජිකයින් සමග විනෝද චාරිකාවක් සඳහා සීගිරියට පැමිණි අවස්ථාවේදී සීගිරි කැටපත් පවුරට හානි කළ බවට චෝදනා මත අත්අඩංගුවට ගැනිණ.


ඒ අනූව ඇය දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වසර දෙකක සිරදඬුවමක් ද නියම විය.

කෙසේ වෙතත් ඇයට ලබාදුන් දඬුවම ගැන යළි සලකා බලන ලෙස ඇයගේ මව විසින් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කර තිබුණි.


ඒ අනූව ඇයට ජනපති සමාව හිමිව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


සීගිරිය කැටපත් පවුර නැරඹීමට පැමිණෙන පුද්ගලයන්ට එය විකෘති නොකරන ලෙස සිංහල, දෙමළ සහ ඉංගී‍්‍රසි භාෂා ති‍්‍රත්වයෙන්ම දැනුවත් කරමින් පුවරු ප‍්‍රදර්ශනය කර තිබේ.


පසුගිය 2014 වසරේ නොවැම්බර් මාසයේදීද මඩකළපුව ප‍්‍රදේශයේ පාසලක උසස් පෙළ හදාරන සිසුවියක් හැට්ට කටුවකින් කැටපත් පවුරේ කුරුටු ගී මත සිය නම ලිවීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කර තිබුණි.



ත්‍රීරෝද රථය ප්‍රපාතයට පෙරළී අම්මයි දුවයි මරුට

ත්‍රීරෝද රථයක් අනතුරට ලක්වීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බගවන්තලාව-හැටන් ප්‍රධාන මාර්ගයේ වනරාජා ප්‍රදේශයේදී අඩි 300 ක් පමණ ප්‍රපාතයකට ත්‍රීරෝද රථය පෙරළී යාමෙන් අනතුර සිදුව ඇති බව සඳහන් වෙයි.


අනතුරින් මියගොස් ඇත්තේ හැත්තෑ හැවිරිදි කාන්තාවක සහ 48 හැවිරිදි ඇගේ දියණිය වෙයි .


අනතුරින් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් දික් ඔය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි


අධික වේගයෙන් ධාවනය වී ඇති ත්‍රීරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් අනතුර සිදුව ඇති බව සඳහන්ය.