බසයක් ගසක හැපී 20ට තුවාලයි


බණ්ඩාරවෙල - පල්ලෙවෙල මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් විසි දෙදෙනෙකු තුවාල ලබා තිබේ.


පල්ලෙවෙල සිට බණ්ඩාරවෙල දෙසට ධාවනය වු බස් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවත පැන අසල වු ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.


අනතුරෙන් බස් රථයේ ගමන්ගත් පුද්ගලයින් විසි දෙදෙනෙකු තුවාල ලබා බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර ඇත.


තුවාල ලැබූවන් අතර ළමුන් දෙදෙනෙකු ද වන බව සඳහන්ය.


අනතුර සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



කොටුවේ විරෝධයෙන් දැඩි රථවාහන තදබදයක්


කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට එරෙහිව පරිසර සංවිධාන විසින් පවත්වනු ලබන විරෝධතාවයක් හේතුවෙන් කොළඹ, කොටුව ආශ්‍රිතව මේවන විට රථ වාහන තදබදයක් හටගෙන තිබේ.


අද පස්වරුවේ ආරම්භ කළ මෙම විරෝධතාව නිසා කොටුව, යෝර්ක් වීදිය ආශ්‍රිත ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් පවතින බව අප වාර්තාකරු කියයි.


චීනය විසින් සිදුකරන කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය නතර කරන ලෙසට බලකරමින් මෙම විරෝධතාව පැවැත්වෙයි.


එම ව්‍යාපෘතිය නිසා පරිසරයට හානි සිදුවන බව පරිසර සංවිධානවල අදහසයි.



එතනෝල් බැරල් 80 කාගෙද?


තායිලන්තයේ සිට නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද ලීටර් 16,000ක් අඩංගු එතනෝල් බැරල් 80ක් ඔරුගොඩවත්ත බහලුම් අංගනයේදී සොයාගෙන තිබේ.


සැකකටයුතු ‍කන්ටේනරයක් පරික්ෂා කිරීමේදී මෙම එතනෝල් තොගය සොයාගෙන ඇත.


ඒවායේ වටිනාකම රුපියල් 1,680,000,00කි.


ව්‍යාජ තොරතුරු ලබාදී ගෙන්වීම නිසා රේගුවට අහිමි වූ බදු මුදල 5,808,000.00ක් වේ.


රත්මලානේ කර්මාන්ත ශාලාවක් නමට පසුගිය මස 5 වැනිදා මෙම කන්ටේනරය ගෙන්වා ඇත්තේ වෙනත් රසායන ද්‍රව්‍යයක් ගෙන්වන මුවාවෙන් වැරදි තොරතුරු ලබාදී යැයි රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා පැවසීය.


ව්‍යාජ තොරතුරු ලබාදී පසුගිය කාලයේදීත් එතනෝල් බැරල් ගණනාවක් මේ ආකාරයට ගෙනැවිත් තිබූ අවස්ථාවල රේගු බාරයට ගැනිණ.



ජාතික ‍කොඩිය පහත දමා සිංහලේ කොඩිය එසවීම ගැන පරීක්ෂණයක්


ශ්‍රී දළදා මාලිගාවේ මඟුල් මඩුව පරිශ්‍රයේ ප්‍රදර්ශනය කර තිබු ජාතික කොඩිය පහත දමා සිංහලේ කොඩිය නමැති වෙනත් කොඩියක් බලහත්කාරයෙන් එසවු බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.


ශ්‍රී දළදා මාලිගාවේ පරිපාලන ලේකම්වරයා විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.


දළදා මාළිගාවේ ඊයේ පැවති උත්සවයක් සඳහා පැමිණි බත්තරමුල්ල ස්වර්ණහංස පදනම නමැති සංවිධානයක ගිහිපැවිදි දෙපිරිසක් විසින් මෙලෙස ජාතික කොඩිය පහත දමා වෙනත් කොඩියක් ඔසවා ඇති බව සඳහන්ය.


ඒ අනූව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.



කැටපත් පවුරේ අලුතින් ලියූ තරුණිය දෙවසරකට රිමාන්ඩ්


ඓතිහාසික සීගිරි කැටපත් පවුරේ ඉංග්‍රීසි අක්ෂර කිහිපයක් ලිවීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් තරුණියට වසර දෙකක සිරදඬුවමක් ලබාදී තිබේ.


මීට සති දෙකකට පමණ පෙර මඩකළපුව ප්‍රදේශයේ තරුණියක් මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.


ඇය විසින් සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කට්ටකින් ඉංග්‍රීසි අක්ෂර කිහිපයක් ලිවීමේ චෝදනා මත පුරාවිද්‍යා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලීසියට බාරදෙනු ලැබීය.


පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගතව සිටි එම තරුණිය ඊයේ දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඇය වරද පිළිගෙන තිබේ.


ඒ අනුව දඹුල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සංජීව රම්‍යකුමාර මහතා විසින් ඇයට වසර දෙකක සිරදඬුවමක් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.



නව ජාතික ඖෂධ පනත අද පාර්ලිමේන්තුවට


නව ජාතික ඖෂධ පනත සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අද (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.


ඒ සම්බන්ධයෙන් හෙට දිනයේ විවාදයක් පැවැත්වීමට නියමිත බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.


එම විවාදය හෙට පෙරවරු 9.30 සිට පස්වරු 6.30 දක්වා පැවැත්වීමට නියමිත අතර අනතුරුව එය පාර්ලිමේන්තුවේ දී සම්මත කරගැනීමට සැලසුම් කර ඇත.


පසුගිය වසර කිහිපය තුළ අවස්ථා ගණනාවකදීම ජාතික ඖෂධ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට උත්සාහ කළ ද එය මගහැරී ගිය අතර මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රකාශනයේ ද එයට ප්‍රධාන තැනක් හිමිවුණි.



සන්ධාන මන්ත්‍රී ගැන පරීක්ෂණ අඛණ්ඩයි-කිසිදු බලපෑමක් නෑ



වෙලේ සුදාගේ ප්‍රකාශ මත මත්කුඩු ජාවාරමට අදාළව සිදුකරන පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

වෙලේ සුදාගේ ප්‍රකාශ අනුව ප්‍රශ්න කරනු ලැබූ කොළඹ දිස්ත්‍රක්කයේ එජනිස මන්ත්‍රීවරයා පිළිබඳවද පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදුකරන බවත්, ඒ සඳහා බලපෑම් එල්ලවන බවට නැඟෙන චෝදනා අසත්‍ය බවත් ඔහු කියා සිටියේ අද(02) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.


මේවන විට මන්ත්‍රීවරයාට අදාළව එකසිය හැට ගණනික් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්,මෙම මත්කුඩු ජාවාරමට අදාළව චෝදනා එල්ලවන හිටපු නි.පොලිස්පතිවරයා ගැනත් මේ අයුරින්ම පරීක්ෂණ සිදුකෙරෙන බවත්,පරීක්ෂණ කටයුතු වලට බාධාවක් වන බැවින් ඇතැම් කරුණු මේ මොහොතේ ප්‍රසිද්ධියට පත් කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය.


කෙසේ වෙතත් පරීක්ෂණවල මූලිකත්වය ලබාදී ඇත්තේ මන්ත්‍රීවරයාට බවත්, නි.පොලිස්පතිවරයා ගැන පරීක්ෂණ පසුවට විධිමත් කරන බවත් ඔහු කියා සිටියේය.


හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක,කපිතාන් ඩී.කේ.පී දසනායක ගේ ප්‍රකාශ සටහන් කරගනු ලැබුවේ 2010 වැනි කාලයක කොළඹ සහ ත්‍රීකුණාමලය ප්‍රදේශවලින් අතුරුදහන් කරනු ලැබූ ළමුන් පිරිසකට අදාළව බව ද අජිත් රෝහණ මහතා මෙහිදී සිහිපත් කළේය.


මෙම ළමුන් අ.පො.ස(උ/පෙ) වයසේ සිසුන් බවත්, හැමෝම පාහේ ධනවත් මව්පියන්ගේ දරුවන් බවත්,ඔවුන්ගෙන් ලක්ෂ ගණනින් කප්පම් රැගෙන ඇති බවත් රෝහණ මහතා පෙන්වාදුන්නේය.


මෙම ළමුන් පැහැරගැනීම නාවික හමුදාවේ 'විශේෂ මෙහෙයුම් ඒකකය'නම් පිරිසක් විසින් සිදුකර ඇති බවත්, මේ පිළිබඳ මුල්ම ‍තොරතුරු පොලීසියට ලබාදෙනු ලැබුවේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.


මේවන විට ළමුන් 10 දෙනෙකු අතුරුදහන්ව ඇති බවත්, ඔවුන්ගෙන් පස් දෙනෙකුගේ හැඳුනුම්පත් හමුවී ඇති බවත්, ඔවුන් ජීවතුන් අතර සිටීද නැද්ද යන්න වග තවමත් නොදාන්නා බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.