අලුත් අවුරුද්ද උදාවෙද්දී ගිනි අවියක් පෙන්නා යකා නටලා

නව වසර උදාවන අවස්ථාවේදී ගිනි අවියක් රැගෙන නිවසකට ගොස් ගෙහිමියන් බිය ගැන්වීමට උත්සාහ කළ පුද්ගලයෙකු මාරවිල - සිංහපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද අළුයම ගෙහිමියන් විසින් පොලිසියට බාර දී ඇති බව පොලිසිය සඳහන් කළේය.


සැකකරු සමඟ බෝර 12 ගිනි අවියක් ද පොලිසිය බාරයට ගෙන ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



ආණමඩුවේ හංස රැලියට ප්‍රහාරයක් - 3ක් රෝහලේ

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආනමඩුව නගරයේ රැලියකට සහභාගි වු පිරිසකට ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඊයේ රාත්‍රී ආණමඩුව නගර මධ්‍යයේ පැවති ජන රැලියකට සහභාගි වු පිරිසකට මෙම ප්‍රහාරය එල්ලවී ඇති බව පොලිසිය සඳහන් කළේය.


ප්‍රහාරයෙන් තිදෙනෙකු තුවාල ලබා ආණමඩුව රෝහලට ඇතුළත් කර දෙදෙනෙකු ප්‍රතිකාර ලබා ඉන් පිටව ගොස් ඇත.


සිද්ධිය සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ආණමඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



ෆේස්බුක් පැමිණිලි 2250ක්

2014 වර්ෂය තුළ ෆේස්බුක් සමාජාල වෙබ්අඩවිය සම්බන්ධයෙන් පැමිණිලි 2250ක් පමණ ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ එම පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සම්බන්ධයෙන් බවයි.


ලැබුණු පැමිණිලි වලට අනුව මේ වනවිටත් එලෙස පවත්වාගෙන ගිය ව්‍යාජ ෆේස්බුක් ගිණුම් රැසක් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසීය.


මේ අතර පසුගිය වසර තුළ අන්තර්ජාලය සම්බන්ධ වෙනත් පැමිණිලි 70ක් පමණ ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කළේය.


ඔවුන් පෙන්වා දෙන්නේ එම පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ඊමේල් පණිවිඩ මගින් මුදල් වංචා කිරීමේ සිද්ධීන් පිළිබඳ පැමිණිලි බවයි.


ඊට අමතරව ඇතැම් වෙබ් අඩවි වලට අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත වෙනස් කිරීම සම්බන්ධයෙන් ද පැමිණිලි ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පැවසීය.



ආණ්ඩුවේ ගමනට එරෙහි සියලුදෙනා අපි සමගයි

මෙවර ජනාධිපතිවරණයේ දී තම ජයග්‍රහණය වෙනුවෙන් සියලු දේශපාලන පක්ෂ තමන් සමඟ එක්ව සිටින බව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළකරන සියලු සංවිධාන ද තම ජයග්‍රහණය සඳහා කැපවී සිටින බවයි.


කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය.



නව වසරේ ජනතාවාදී වැඩපිළිවෙළ ශක්තිමත් කරනවා

ජනතාවාදී වැඩපිළිවෙළ නව වසරේ වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ජනතා විශ්වාසය සමගින් දරුවන්ට වඩා සුරක්ෂිත රටක් බිහිකිරීමට කටයුතු කරන බවයි.


තංගල්ල ප්‍රදේශයේ සිය ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු වල නිරත වෙමින් පැවති ජනහමු වලදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළකර තිබේ.



තැපැල් ඡන්දය දාන්න තවත් දවසක්

ජනාධිපතිවරණයට අදාළව තැපැල් ජන්දය සලකුණු කිරීමට නොහැකිවු ජන්ද හිමියන් සඳහා තවත් දිනයක් ලබාදීමට මැතිවරණ මහලේකම් කාර්යාලය තීරණය කර තිබේ.

අතිරේක මැතිවරණ කොමසාරිස් යු.අමරදාස මහතා සඳහන් කළේ ලබන 03 වන දින ඒ සඳහා අවස්ථාව ලබාදී ඇති බවයි.


පසුගිය 23 සහ 24 යන දෙදින තුළ තැපැල් ජන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබු අතර පොලිස් නිලධාරීන් සඳහා පසුගිය 26 වන දින අවස්ථාව ලබා දී තිබුණි.


එම දින වල තැපැල් ජන්ද සලකුණු කිරීමට නොහැකි වු ජන්ද හිමියන් සඳහා පසුගිය 30 වන දින දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල ජන්ද සලකුණු කිරීම අවස්ථාව ලබාදී තිබු බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.


කෙසේ වෙතත් පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතැම් ජන්ද හිමියන්ට තැපැල් ජන්දය ප්‍රකාශ කිරීමට නොහැකිව ඇති බව සඳහන්ය.


එම නිසා මෙතෙක් තැපැල් ජන්දය සලකුණු කිරීමට නොහැකි වු තැපැල් ජන්ද හිමියන්ට ලබන 03 වන දින ඒ සඳහා අවස්ථාව ලබාදීමට තීරණය කළ බව අතිරේක මැතිවරණ කොමසාරිස් යු. අමරදාස මහතා සඳහන් කළේය.


මේ අතර ජනාධිපතිවරණයට අදාල නිල ජන්ද දැන්වීම් පත්‍රිකා සියයට 86ක් මේ වනවිට බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.


නියෝජ්‍ය තැපැල්පති ඩබ්ලිව්.ඒ.ජී.වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළ ඉතිරි නිල ජන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවයි.



වැලි, ගඩොල්, සිමෙන්ති වලට සමාජයක් හදන්න බෑ

කාන්තාවකගේ ගෞරවය, අයිතිය, සුරක්ෂිතතාව පිළිබඳ රජය වගකීමක් ගතයුතු බවත් ජනවාරී 8 වෙනිදායින් පසු ඇති කරන සමගි සන්ධාන ආණ්ඩුව තුළින් කාන්තාවකගේ ගෞරවය හා ආරක්ෂාව තහවුරුවන ලෙස නීතිය ක්‍රියාත්මක කරමින් නීතියේ ආධිපත්‍යය තහවුරු කරන බවත්, පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

අද (31) විහාර මහාදේවී රංගපීඨයේ පැවති කාන්තා සමුළුව අමතමින් ඒ මහතා මේ බව පැවසීය.


එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසූ බව පොදු අපේක්ෂකවරයාගේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක සඳහන්ය.


රාජපක්ෂ පාලනය නීතියේ ආධිපත්‍ය අහිමි කර තිබේ. ස්ත්‍රී දූෂණ, විශාල වශයෙන් වර්ධනය වී ඇත. ඔවුන්ට සමහර අවස්ථාවලදී රාජ්‍ය රැකවරණය පවා ලැබේ. කාන්තාවකට ලැබිය යුතු සියලු සමාජ අයිතිවාසිකම් එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තිය පරිදි ආණුඩුක්‍රම ව්‍යවස්ථාවකට අවශ්‍යය. ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරුවරියක් ලෙස ශිරාණි බණ්ඩාරණායක මහත්මිය පත්වූවාය. එය අගවිනිසුරුවරියක ලෙස කාන්තාවක පත් වු පළමු අවස්ථාවයි. අරලියගහ මන්දිරයේ සිට අධිකරණයේ නඩු තීන්දු වෙනස් කිරීමට නොහැකි වූ විට බොරු චෝදනා ඉදිරිපත් කර ඇයට අගෞරව කිරීම මේ රටේ සමස්ත මව්වරුන්ටම අගෞරව කළ අවස්ථාවක් බව ද මෛත්‍රිපාල සිරිසේන මහතා පෙන්වාදුන්නේය.


මෙම අවස්ථාවට සම්බන්ධ වු ජාතික හෙළ උරුමයේ සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියන්.


අද මව්වරුන්ගේ දුක්ඛිත භාවය නිසා ඔවුන් විදේශ රටවල වහල් සේවකයන් ලෙස රැකියා කරනවා. විදේශ රැකියාවල යෙදෙන කාන්තාවන්ගෙන් ඩොලර් බිලියන 5ක් පමණ ලංකාවේ ආර්ථිකයට ලැබේ. මැදපෙරදිග ඇතුළු අනෙකුත් රටවලට මව්වරුන් පිටත් කිරීමේදී රාජ්‍යතාන්ත්‍රික භාවයත්, අචාරධර්ම හා ප්‍රතිපත්ති වල සිට කටයුතු කළයුතු බවත්, අප රජයට ප්‍රකාශ කළත් එය කිසිවිටෙකත් ඔවුන් සිදුනොකළ බවත් අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ පෙන්වාදුන්නේය.


එම අවස්ථාවට සම්බන්ධ වු කලා ශිල්පිණී රේණුකා බාලසූරිය මහත්මිය.


මම නිතරම දේශපාලන වේදිකාවට නැග්ග කෙනෙක් නොවේ. නමුත් රටට අකටයුත්තක් සිදුවන හැමවිටම දේශපාලන වේදිකාවට යොමුවෙනවා. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය මා දකිනවා. වැලි, ගඩොල්, සිමෙන්ති වලට සමාජයක් හදන්න බෑ. එහි ජිවත් වෙන්න යහපත් මිනිසුන් සිටිය යුතුයි. මවක් තම පුතා ලැම්බෝගිනි කාර් එකක යනවාට වඩා සත්‍යය වෙනුවෙන් ඉදිරියෙන් සිටගත හැකි පුරවැසියෙක් වෙනවට සියලූ මව්වරුන් කැමතියි, මම සියලූ මව්විවරුන්ට ආරධනා කරනවා මෛත්‍රිපාලනයක් උදා කිරීමට එක්වන ලෙස යැයි ඇය සඳහන් කළාය.


මෙම අවස්ථාවට සම්බන්ධ වු අනෝමා ෆොන්සේකා මහත්මිය.


‘‘වසර 30ක් තිස්සේ රණවිරු බිරිඳක් ලෙස එහි දුක දරාගත්තා.වසර දෙකාහාමාරක් සිර ගත කළ සැමියෙකුගේ බිරිඳ ලෙස ජිවත් වුණා. එනිසා මට මේ ගැන කතා කරන්න අයිතියක් තියෙනවා. මීට පෙර කාන්තාවක් ලෙස සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය, හිටපු අගවිනිසුරුවරිය වන ශිරාණි බණ්ඩාරනායක මැතිතුමිය වැනි අයට අසාධාරණකම් සිදු වුණා. අද අලූත් පරපුරටත් ඒ තත්ත්වය උදා වෙමින් තිබෙනවා. හිරුණිකා, සෝලංගආරච්චි මහත්මිය වගේ අයටත් ඒ තත්ත්වයට මුහුණදෙන්නට සිදු වී තිබෙනවා. ඒනිසා මේ ක්‍රමවේදය වෙනස් කළ යුතුයි.