ප්‍රසන්න රණතුංග ක්‍රිකට්‌ පිත්තකින් පියසේනට පහර දීලා

රාජගිරිය මැල්වත්තේ පිහිටි තම නිවසට පැමිණි බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ක්‍රිකට්‌ පිත්තකින් තමාට අමානුෂික ලෙස පහර දුන් බව කියමින් පුද්ගලයකු වැලිකඩ පොලිසිය වෙත පෙරේදා (21 වැනිදා) සවස පැමිණිලි කර ඇත.

මෙසේ පහරකෑමට ලක්‌වූ බව කියන රාජගිරිය මැල්වත්තේ පදිංචි පියසේන නමැති පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ 72 වැනි වාට්‌ටුවට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ අතර ප්‍රධාන ඇමැතිවරයාගේ සොහොයුරකු වන ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග මහතා ද වැලිකඩ පොලිසිය වෙත පෙරේදා (21 වැනිදා) සවස පැමිණිල්ලක්‌ කරමින් කියා ඇත්තේ

පියසේන නමැති අයකු තම නිවස ඉදිරිපිට තාප්පයට නැගී පිහියක්‌ ද රැගෙන තමන්ට තර්ජනය කළ බවයි.

පහරකෑමට ලක්‌වූ බව කියන පියසේන මහතා පවසා ඇත්තේ රාජගිරිය මැල්වත්ත ප්‍රදේශයේ මාර්ගයක්‌ සම්බන්ධයෙන් කාලයක්‌ තිස්‌සේ පැවති ආරවුලක්‌ මෙම පහරදීමට හේතු වූ බවයි.

වැලිකඩ පොලිසිය වෙත පියසේන මහතා කර ඇති පැමිණිල්ලට අනුව ප්‍රධාන ඇමැතිවරයා විසින් මෙම පහරදීම සිදුකර ඇත්තේ පෙරේදා සවස 5.00 ට පමණය. පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය වෙත පැමිණිලි කර ඇති පියසේන මහතා පසුව ජාතික රෝහලට ඇතුළත් වී ඇත්තේ රාත්‍රි 8.00 ට පමණය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ මෙවැනි සිද්ධියක්‌ පිළිබඳව තමා කිසිවක්‌ නොදන්නා බවයි.

මෙම සිද්ධිය වූ බව කියන මොහොතේ තමන් සිටියේ කැබිනට්‌ රැස්‌වීමේ බව ද හෙතෙම කියා සිටියේය. පෙරේදා සවස 4 ත් 8 ත් අතර කාල සීමාවේදී තමන් ආණ්‌ඩු පක්‍ෂයේ රැස්‌වීමකට සහභාගි වෙමින් සිටි බව ද ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

තම නිල නිවස කොළඹ ප්‍රදේශයේත් පෞද්ගලික නිවස උඩුගම්පොල ප්‍රදේශයේ පිහිටි බවට පැවසූ මහ ඇමැතිවරයා මෙම සිද්ධිය වූ ප්‍රදේශයේ තමාට නිවසක්‌ නැති බව ද කියා සිටියේය.

කෙසේ වෙතත් වැලිකඩ පොලිසිය මගින් මෙම සිද්ධිය පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පහරකෑමට ලක්‌ වූ බව කියන පියසේන මහතාගෙන් ද ප්‍රකාශයක්‌ ලබාගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.

මීට වසර කීපයකට උඩදී ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා කොළඹ අශෝක විද්‍යාලයේ ශිෂ්‍යයකුට ක්‍රිකට්‌ පිත්තකින් පහර දුන් බව කියන සිද්ධියක්‌ වාර්තා වී තිබිණ.

IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

Post a Comment