පෝස්ටර්, කටවුට් මුදල් වලින් වකුගඩු රෝගීන්ට අරමුදලක් හදනවා - මෛත්‍රී

තමන් ජනපතිට ද්‍රෝහි නොවූ බවත්, ද්‍රෝහි වූයේ අල්ලසට හා වංචාවට යැයි පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා අද (30) පොළොන්නරුවේදී මංගල ජන රැළිය අමතමින් පැවසීය.

තමා රජයෙන් ඉවත්වීමත් සමඟ රජය දෙදරා ඇතැයි ද, හෙට අනිද්දා වන විට තවත් පිරිසක් රජයෙන් ඉවත්ව යනු ඇතැයිද හෙතෙම කියා සිටියේය.


තුනෙන් දෙකේ බලය තිබූ ආණ්ඩුව රටට වැඩක් නොකළ බවත් එම බලය භාවිතා කළේ ව්‍යවස්ථාවේ 18 වැනි සංශෝධනය සම්මත කර ගැනීමටත්, එමගින් ජනපතිවරණයට දෙවරට වැඩි වාර ගණනක් සීමාව ඉවත් කර ගැනීමට බවත්, හෙතෙම පැවසීය.


ක්ෂේත‍්‍ර නිලධාරීන්ට දැනට ලබාදෙන යතුරුපැදි තමන් බලයට පත් වූ විට නොමිලේම ලබාදෙන බවද මෛත‍්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.


එසේම ඉදිරි ජනාධිපතිවරණයේදී බැනර්, කටවුට් සහ පෝස්ටර් සඳහා යන සියලු වියදම් එකතු කර රටේ දුක් විඳින ජනතාවට සේවය කිරීමට අරමුදලක් පිහිටුවන බවද මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේය.


තමන් පොදු අපේක්ෂකයා ලෙස තෝරාගැනීමෙන් පසු බොහෝ දෙනෙක් ඇවිත් කොඩි අදින්න, පොලිතින් ගන්න, කටවුට් ගහන්න අපි සල්ලි දෙන්නම් යැයි කියු බවද, එහෙත් තමාගේ මැතිවරණ ව්‍යාපාරයේ පොලිතීන් කටවුට් නැති බවද, ඔහු පැවසීය.


තමාගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රචාරණ කටයුතු සඳහා ලබාදෙන මුදල් වකුගඩු රෝගීන් වෙනුවෙන් ආධාර මුදලක් ලෙස ආරම්භ කිරීමට සුදානම් බවද හෙතෙම කියා සිටියේය.


වැඩිදුරටත් ඔහු කියා සිටියේ තමාගේ රුව කටවුට් වල නොව රටේ ජනතාවගේ හදවත් වල ඇතැයි තමන් පැහැදිලිව දන්නා බවයි.


මෙම ජනහමුව සඳහා මහ සංඝරත්නය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක, ඇතුළුව විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයකම නියෝජිතයින් ඇතුළුව විශාල ජනතාවක්ද එක්ව සිටියහ.


“එක් අහසක් යට එක යායට රට“ යනුවෙන් මැතිවරණ වේදිකාව සකසා තිබිණ.


එසේම ඉහළින් එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතාගේ සහ ඩී. එස් සේනානායක මහතාගේ ඡායාරූප දෙකක්ද එහි තබා තිබුණි.



මේ වන විට ජනාධිපතිවරණ පැමිණිලි 17යි

ඉදිරි ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 17ක් ලැබී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

එම පැමිණිලි අතර මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 03ක් සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධ පැමිණිලි 14ක් වන බව වාර්තා වෙයි.


මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් අතර රාජ්‍ය දේපළ අයථා පරිහරණය, රාජ්‍ය නිලධාරීන්ට ස්ථාන මාරුවීම් සහ උසස් වීම් ලබාදීම, ආධාර බෙදාදීම් ඇතුළු පැමිණිලි වන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.


කොළඹ, මහනුවර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලින් පැමිණිලි දෙක බැගින් ද පොදු පැමිණිලි 9ක් ද ලැබී තිබේ.


මේ අතර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම් කිරීම මේ දිනවල සිදුවන අතර දෙසැම්බර් මස හතර වන දිනෙන් එම කටයුතු අවසන් වීමට නියමිතය.


නාමයෝජනා බාරගැනීම දෙසැම්බර් මස 8 වන දින සිදුකරන අතර ඡන්ද විමසීම ලබන වසරේ ජනවාරි මස අට වන දින පැවැත්වීමට සැලසුම් කර තිබේ.



රාත්‍රී සමාජ ශාලාවක පිස්සු නැටූ චීන්නු 3ක් අත්අඩංගුවේ

චීන ජාතිකයින් තිදෙනෙකු කොල්ලුපිටිය ප්‍ර දේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ(29) රාත්‍රී මෙම චීන ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි.


රාත්‍රී සමාජ ශාලාවක කළහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.


සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.



දීඝවාපියේ වන අලි ප්‍රහාරයකින් කොස්තාපල් රෝහලේ

දීඝවාපිය ප්‍රදේශයේ දී වන අලි ප්‍රහාරයකින් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා තිබේ.

දමන පොලීසියට අනුයක්ත දීඝවාපිය පොලිස් මුරපොළේ රාජකාරි කටයුතුවල නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව වාර්තා වෙයි.


අනතුරෙන් තුවාල ලැබු පොලිස් නිලධාරියා අම්පාර රෝහලට ඇතුළත් කර කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.



හකීම් සහ ජනපති අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයින් පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අරලිය ගහ මන්දිරයේ දී ඊයේ(29) පස්වරුවේ මෙම හමුව සිදුවූ බවයි.


එහිදී වර්තමාන දේශපාලන තත්ත්වය හා ඉදිරි කටයුතු පිළිබඳව ජනාධිපතිවරයා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.


මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම්, මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී හසන් අලී, නියෝජ්‍ය මහලේකම් නිසාම් කාරියප්පර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.



මස්කෙළියේදී බඹර ප්‍රහාරයක්

මස්කෙළිය, ගාඩ්මෝර් වතුයාය ප්‍රදේශයේ දී පුද්ගලයින් තිදෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ.

ගාඩ්මෝර් ප්‍රදේශයේ නායයෑම් අවදානම් ඇති ස්ථාන පරීක්ෂා කිරීමට ගිය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් තිදෙනෙකුට මෙලෙස බඹර ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වෙයි.


බඹරුන් ඇනීමෙන් තුවාල ලැබු එක් නිලධාරියෙකු මස්කෙළිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මූලික රෝහල වෙත මාරු කර යවා තිබේ.


අනෙකුත් නිලධාරීන් දෙදෙනා සුළු තුවාල ලබා ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.



නිස්කලංක රටවල් 10ට ලංකාවත්

2015 වසරේ දී නිදහසේ සහ නිස්කලංකව සංචාරය කළ හැකි ස්ථාන සහිත රටවල් දහය අතරට ශ්‍රී ලංකාව නම් කර තිබේ.

අමෙරිකාවේ ෆෝබ්ස් සඟරාව විසින් නිකුත් කළ නවතම වාර්තාවකට අනුව අදාළ නම් කිරීම සිදුව ඇති බව වාර්තා වෙයි.


ඒ අනුව 2015 වසරේ දී ලොව නිදහසේ සහ නිස්කලංකව සංචාරය කළ හැකි රටවල් අතර දස වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.


එහි ප්‍රථම ස්ථානය අයිස්ලන්තයට හිමිව ඇති අතර පිළිවෙළින් මොරොක්කෝ, වියට්නාමය, අමෙරිකාව, තස්මේනියාව, කොළොම්බියාව, ජපානය, ආර්ජන්ටිනාව, නේපාලය ද එම රටවල් 10 අතරට නම් කර ඇති බව සඳහන් වෙයි.


විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වනෝද්‍යාන සහ වනසතුන් පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කර ඇති අතර එම ස්ථාන නැරඹීම ආශ්වාදජනක වනු ඇති බව ෆෝබ්ස් සඟරාව මගින් පෙන්වා දී ඇත.


යාල, විල්පත්තු වනෝද්‍යාන මෙන්ම ගාලු කොටුව ද සංචාරකයින්ගේ ආකර්ශනයට ලක්වන ප්‍රදේශ ලෙස හඳුන්වා දී තිබේ.



මාලකට ඇප ලැබෙයි

බම්බලපිටියේ රාත්‍රී සමාජ ශාලාවකදී බ්‍රිතාන්‍ය යුවළකට පහරදුන් බවට චෝදනා ලැබ රිමාන්ඩ් කර සිටි ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට ඇප ලබාදී තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ මාලකගේ ආධාරකරුවන් පිරිසක්ද ඇප මත මුදාහැර ඇත.



අස්වර් මන්ත්‍රී මන්ත්‍රීකම අතහරී!

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් අස්වර් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත බාරදුන් බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

ඒ අනූව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූව එකී පුරප්පාඩුව සඳහා සුදුසු අයෙකු පත් කිරීමට කටයුතු කරන්නැයි ඉල්ලා තමන් මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම්දුන් බවද ඒ මහතා පැවසීය.



ජයසූරියත් කනස්සල්ලෙන්

තම අමාත්‍යංශයේ කටයුතු සිදුකරගෙන යාමේ දී දුෂ්කරතාවන් රැසකට මුහුණදීමට සිදුව ඇති බව තැපැල් නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතා පවසයි.

මාතර හක්මණ ප්‍රදේශයේ පැවති හමුවක දී ඔහු මේ බව පැවසීය.


පවතින අඩුපාඩුකම් පිළිබඳ දැනුම් දුන්න ද මෙතෙක් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර ලැබී නොමැති බවද සනත් ජයසූරිය මහතා කියා සිටියේය.



එල්. ටී. ටී. ඊ නායකයින් සිහිකළ සිට්සබේසන් කැනේඩියානු ජාතිකයින්ගෙන් සමාවගත යුතුයි

මියගිය එල්. ටී. ටී. ඊ සාමාජිකයින් සිහිකර කැනේඩියානු පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකළ රාධිකා සිට්සබේසන් මන්ත්‍රීවරියට එරට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා දැඩි ලෙස අවවාද කර තිබේ.

ඊයේ දිනයේ කැනේඩියානු පාර්ලිමේන්තුවේ දී හිටපු එල්. ටී. ටී. ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු මියගිය එල්. ටී. ටී. ඊ සාමාජිකයින් සිහිකර රාධිකා සිට්සබේසන් විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර ඇත.


අදාළ ප්‍රකාශය පිළිබඳ විරෝධය පළ කර ඇති කැනේඩියානු මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ස්ටීවන් බ්ලැනි ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ දී සිදු කිරීම පිළිබඳ තමා විමතියට පත්වූ බවයි.


ඒ පිළිබඳ සියලුම කැනේඩියානු ජාතිකයින්ගෙන් සමාව ගන්නා ලෙස කැනේඩියානු මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා රාධිකා සිට්සබේසන් මන්ත්‍රීවරියට දැනුම් දී ඇත.


රාධිකා සිට්සබේසන් කැනේඩියානු පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති මන්ත්‍රීවරියකි.


මේ අතර මියගිය එල්. ටී. ටී. ඊ සාමාජිකයින් සිහි කරමින් යාපනය විශ්ව විද්‍යාලය තුළ සැමරුම් වැඩසටහනක් පැවැත්වීමට ගෙන තිබු උත්සහයක් පිළීබඳවද වාර්තා වේ.


මේ හේතුව මත පසුගිය 26 වැනිදා සිට දෙසැම්බර් මස පළමුවැනි දින දක්වා යාපනය විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දැමීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන ඇති බවද වාර්තා විය.



මහ වැසි වව්නියාවේ 2440ට පීඩා දෙති - ජලාශ රැසක වාන් දොරටු ඇරේ!

වව්නියාව දිස්ත්‍රික්කයට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 703කට අයත් පුද්ගලයින් 2440 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.

දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ටී. එන් සූරියරාජ් මහතා සඳහන් කළේ වව්නියාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුළ පමණක් පුද්ගලයින් 2258 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි.


පීඩාවට පත්වූවන් තාවකාලික කදවුරු 04 ක නතර කර ඇති බව ඔහු පැවසීය.


සමන්කුලම විද්‍යාලය, වව්නියාව හුදියවේල සින්නකුලම විද්‍යාලය, විලච්කුච්චිකුලම ග්‍රාම සංවර්ධන ගොඩනැගිල්ල හා වව්නියාව පූන්තෝට්ටම් විද්‍යාලය තුළ මෙම කඳවුරු ස්ථාපිත කර ඇති බව ටී.එන් සූරියරාජ් මහතා පැවසුවේය.


වව්නියාව දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් පරිදි ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමේ කටයුතු සිදුකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



වැස්ස නිසා බලාගෙනයි!

කලාඔයේ ජල මට්ටම ඉහළගොස් ඇති නිසා පුත්තලම - මන්නාරම මාර්ගය එළුවන්කුලම ප්‍රදේශයේදී තවමත් වසා දමා ඇති ව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

ඊයේ (27)රාත්‍රීය වන විට රාජාංගණ ජලාශයේ වාන් දොරටු 03 ක් අඩි 02 බැගින්ද,දැදුරුඔය ව්‍යාපාරයේ ජල දොරටු 03 ක් අඩි 02 බැගින්ද විවෘත කර ඇත.


රාජංගණය ජලාශයේ වාන් ජලය කලාඔයට මුදා හැරෙන බැවින් කලාඔයේ ජල මට්ටම තවමත් ඒ ආකාරයටම පවතින බවද ආපදා කළමනාකරණ ඒකකය කියා සිටී.


මේ අතර වැසි ජලය බැස නොයාම හේතුවෙන් පුත්තලම අට්ටවිල්ලුව ප්‍රදේශයේ නිවාස කීපයකට බලපෑම් එල්ලවී ඇත.


ජලය බැස යන එක් ස්ථානයක් අවහිර වන ලෙස ඉදි කර ඇති බාධයකයක් මෙම තත්ත්වයට හේතුව බව හඳුනා ගෙන ඇති බවද ආපදා කළමනාකරණ ඒකකය කියයි.


පුත්තලම - තිල්අඩිය ප්‍රදේශය තුළද ස්ථාන කීපයක් ජලය බැස නොයාමේ අවදානමක් ඇති බවට හඳුනා ගෙන ඇති බවත්,එම ජලය බැස යාමට ඇති අවහිර කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කරන බවද අප කළ විමසුමකදී පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරියෙකු පැවසීය.


මේ අතර මන්නාරම සිට කන්කසන්තුරෙයි හරහා ත්‍රීකුණාමලය දක්වා ඉතා රළු විය හැකි බවත්, සුළඟ පැයට කි.මී 70 ක පමණ වේගයෙන් හමායා හැකි බවත් කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව නිවේදනය කරයි.



තවදුරටත් ජනපතිට සහය දෙනවා

තවදුරටත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තමා සහ තම පියා වන රත්නසිරි වික්‍රමනායක මහතා තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ තම පියා සහ තමා කිසිවිටකත් ජනතාව අසරණ නොකරන බවයි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර යන ලෙස ලැබුණු ඉල්ලීම් වලට වඩා තවදුරටත් රැඳී සිටින ලෙස ජනතාව වැඩි වශයෙන් ඉල්ලා සිටි බව ද හොරණ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා මේ අදහස් පළ කළේය.


එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ වෙනස්කම් රැසක් සිදුවිය යුතු බවයි.



සැඟවුණු පොදු අපේක්ෂකයා අද එළියට එනවාලු?

විපක්ෂයේ පොදු අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබද අද දිනයේ ප්‍රකාශ කිරිමට නියමිතව තිබේ.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ දි විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වෙයි.


එම සාකච්ඡාවෙන් අනතුරුව අද පස්වරුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවක දි විපක්ෂ පොදු අපේක්ෂකයා පිළිබඳ නිල දැනුම් දීම සිදු කිරිමට නියමිතය.


මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ විශේෂ රැස්විමක්ද අද පැවැත්වෙයි.


මේ අතර ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයට එක්වු ගම්පහ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා කියා සිටියේ සන්ධානයෙන් තවත් පිරිසක් පොදු අපේක්ෂකයාට සහය පළ කිරිම සඳහා ඉදිරිපත් වනු ඇති බවයි.



රතනහිමිගේ ආශ්‍රම ඉඩම ආපහු ඉල්ලයි

ජාතික හෙළ උරුමය පක්ෂයේ සභාපති පුජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩවෙසෙන රාජගිරියේ පිහිටි විහාරස්ථානයට අයත් භූමිය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා පිරිසක් ඊයේ උද්ඝෝෂණයක නිරත වූහ.

උද්ඝෝෂකයින් ඉල්ලා සිටින්නේ අක්කර පහමාරක පමණ භූමියක් අදාළ විහාරස්ථානයට ලබාදීම හේතුවෙන් තමන් දුෂ්කරතාවට පත්ව සිටින බවයි.


එම පිරිස විරෝධතා පාගමනින් කෝට්ටේ මහනගර සභාවට ගිය අතර ඒ සම්බන්ධයෙන් කඩිනමින් කටයුතු කරන බව කෝට්ටේ නගරාධිපති ජනක රණවක මහතා ප්‍රකාශ කළේය.


කැබිනට් අනුමැතියක් යටතේ 2007 වසරේ දි අන්තර්ජාතික බෞද්ධ තොරතුරු පර්යේෂණ ආයතනයක් ඇතුළු ශාසනික කටයුතු වෙනුවෙන් අදාළ ඉඩම සඟ සතු කොට පවරා දි තිබේ.


කෙසේ වෙතත් අතුරලියේ රතනහිමියන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වීම හේතුකොට ගෙන උන්වහන්සේට අනිසි ලෙස බලපෑම් කිරීමේ අරමුණෙන් මෙම උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.



මැ.කො පොඩි මැ.කො ලා හමුවෙයි

මැතිවරණ කොමසාරිස්වරයා සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද කොළඹ දී පැවැත්වෙයි.

මැතිවරණ මහලේකම් කාර්යාලය කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ සාකච්ඡා කිරිම එහි අරමුණ බවයි.


සියලු දිස්ත්‍රීක් ලේකම්වරුන්ද අද දිනයේ රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලය වෙත කැඳවා තිබේ.


දේශපාලන පක්ෂ වල නියෝජිතයින් සමග ද ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් අද පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරයි.


මේ අතර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරිම ද බොහෝ දුරට අද දිනයේ සිදුවනු ඇති බව මැතිවරණ මහ ලේකම් කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.



සෑම ප්‍රධාන නගරයකම සතොස අලෙවිසැල් ගොඩනගයි

මෙරට සෑම ප්‍රධාන මහමාර්ගයක්ම ආවරණය වන පරිදි සෑම ප්‍රධාන නගරයකම ලංකා සතොස අලෙවිසැල් ගොඩනැගීම ලබන මාසයේ ආරම්භ කරන බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශය පවසයි.

මේ යටතේ ලංකා සතොස අලෙවිසැල් සියයක් විවෘත කිරීමට සැලසුම් කර ඇති බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.


දැනට දිවයින පුරා ලංකා සතොස අලෙවිසැල් 300 ක් විවෘත කර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බව සඳහන් වෙයි.


මෙමගින් පාරිභෝගිකයින්ට අත්‍යාවශ්‍ය භාණ්ඩ වඩාත් පහසු මිලට මිල දී ගැනීමට හැකිවනු ඇති බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.



ආණ්ඩු පිහිටුවීමට අයිතිය ඇත්තේ රටේ ජනතාවටයි

ආණ්ඩු පිහිටුවීමට අයිතිය ඇත්තේ රටේ ජනතාවට බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනතා තීන්දුවට හිස නැමීමට වත්මන් රජය සෑම විටම සූදානම් බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.


වර්තමානයේ ඇතැමුන් විදේශ රටවල් හරහා මෙරට ආණ්ඩු පිහිටුවිමට උත්සහ දරන බව සඳහන් කළ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ජනතාවට ඇති අයිතිය වෙනත් කිසිවෙකුට ලබාදිමට තමා සූදානම් නොමැති බවයි.


කුඩා රබර් වතු හිමියන් සමග අද(20) දහවල් අරලියගහ මන්දිරයේ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.


එහිදි තවදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා සඳහන් කළේ එකමුතුව පක්ෂය තුළ නායකත්වයක් තෝරාගත නොහැකි පිරිසකට රටට ද නිවැරදි නායකත්වයක් ලබාදිය නොහැකි බවයි.


රටේ ජනතාවට ද ඔවුන් පිළිබඳ විශ්වාසයක් තැබීමට නොහැකි බව සඳහන් කළ ජනාධිපතිවරයා රට සංවර්ධනය කර රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ වත්මන් රජය සැමදා රටේ ජනතාවගේ විශ්වාසය දිනාගත් බව කියා සිටියේය.



වසර 24ක් ලංකාවේ හොරෙන් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙක් මාට්ටු

නීති විරෝධීව වසර 24 ක කාලයක් මෙරට රැඳී සිටිමේ චෝදනා මත අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබේ.

වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටි අදාළ බ්‍රිතාන්‍ය ජාතිකයා ඇල්ල ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටියදි පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.


සැකකරු අද බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදි ඔහු වරද පිළිගෙන ඇති බව සඳහන්ය.


ඒ අනුව මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් 50,000 ක දඩයක් නියම කර තිබේ.


කෙසේවෙතත් අදාළ දඩ මුදල ගෙවීමට විත්තිකාර බ්‍රිතාන්‍ය ජාතිකයා අපොහොසත් වීම හේතුවෙන් ඔහුට මාසයක කාලයක් ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් මහේස්ත්‍රාත්වරයා විසින් නියම කළ බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.


සිර දඬුවමින් පසු මිරිහාන අනවසර සංක්‍රමණිකයින් රඳවා තැබීමේ කඳවුරකට අදාළ බ්‍රිතාන්‍ය ජාතිකයා භාර දෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර තිබේ.



ඉන්දු - ශ‍්‍රී ලංකා යුද අභ්‍යාසයක්

ඉන්දු - ශ‍්‍රී ලංකා මිත‍්‍රත්වය වර්ධනය කරගැනීමේ අරමුණින් මිත‍්‍ර ශක්ති නමින් යුද අභ්‍යාසයක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා යුද හමුදාව තීරණය කර තිබේ.

එළඹෙන 23 වෙනිදා සිට 30 වෙනිදා දක්වා එය පැවැත්වෙන්නේ මොනරාගල සහ හම්බන්තොට කේන්ද්‍ර කරගෙනයි. ඒ සඳහා ඉන්දීය සෙබළුන් 40 දෙනෙකු සහභාගි වෙයි.


ශ‍්‍රී ලංකා යුද , නාවික සහ ගුවන් හමුදාව නියෝජනය කරමින් සෙබළුන් 200 දෙනෙකු ඊට සහභාගි වීමට නියමිත බවද වාර්තා වෙයි



එයාර් ෆෝස් සම්පත් දැලේ

මොරටුව ප්‍රදේශයේ දී අපරාධ රැසකට සම්බන්ධ එයාෆෝස් සම්පත් නැමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.


එහිදී ඔහු සතුව තිබී විදෙස් රටක නිෂ්පාදිත අත්බෝම්බ 02ක් ටී.56 වර්ගයේ ජීව උණ්ඩ 20 ක් සහ තවත් අවි ආයුධ කිහිපයක් පොලිසිය බාරයට ගෙන තිබේ.


සැකකරු 36 හැවිරිදි සැකකරු ගල්කිස්ස තෙලවල පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පවසයි.



මරණ දඬුවම නියමවූ ඉන්දීය ධීවරයින් පස්දෙනා නිදහස්

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී තිබු ඉන්දීය ධීවරයින් පස්දෙනා ඉන්දීය බලධාරීන් වෙත බාරදී තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බව ජනාධිපති ප්‍රකාශක මොහාන් සමරනායක මහතා ප්‍රකාශ කළේය.


ඒ අනුව අද (19) දහවල් ඔවුන් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙත බාරදී තිබේ.


පසුගිය ඔක්තෝබර් මස 30 වනදා කොළඹ මහාධිකරණය විසින් අදාළ ඉන්දීය ධීවරයින් පස් දෙනාට මරණ දඬුවම නියම කරන ලදී.


කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සාධාරණ පියවරක් ගන්නා ලෙස ඉන්දීය බලධාරීන් අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් කළ බව වාර්තා විය.



පිරිවෙන් අධ්‍යාපනයේ නව ප්‍රබෝධයක් ඇති කරනවා

පිරිවෙන් අධ්‍යාපනයේ නව ප්‍රබෝධයක් ඇති කිරීම සඳහා තීරණ රැසක් ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඊට අදාළ පිරිවෙන් පනත නීති පතිවරයා වෙත මේ වනවිටත් ඉදිරිපත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේය.


දිවයින පුරා පිරිවෙන් 750 ක් පිහිටා ඇති අතර එම පිරිවෙන් වල යටිතල පහසුකම් සඳහා පසුගිය වසරේ රුපියල් ලක්ෂ 05 බැගින් ලබා දුන් බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය.


එය මෙවර අය වැය මගින් රුපියල් ලක්ෂ 10 දක්වා ඉහළ දමා ඇති බව අමාත්‍යවරයා පවසයි.


සබරගමුව පිරිවෙන් ප්‍රතිභා ප්‍රභා ගුරු සිසු කුසලතා ඇගයීමේ හා උපහාර පිදීමේ අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.



කසළ තේ තොගයක් සමඟ 3ක් මාට්ටු

බලපත්‍ර නොමැතිව කසළ තේ තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාත්තවෙල ප්‍රදේශයේ සිට වැලිගම දක්වා මෙම කසළ තේ තොගය ප්‍රවාහනය කරමින් සිටි බව පොලිසිය සඳහන් කළේය.


අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි සැකකරුවන් සතුව තිබී කසළ තේ කිලෝග්‍රෑම් 4500ක් සහ ප්‍රවාහනය සඳහා යොදාගත් ලොරි රථය ද පොලිසිය බාරයට ගෙන තිබේ.


සැකකරුවන් අද බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



චීන නාවික කේන්ද්‍රස්ථානවලට හම්බන්තොටත් යාවෙයි?

චීන ජනතා විමුක්ති නාවික හමුදාව විසින් ඉදිරි දස වසරක කාලය තුළ ආසියානු රටවල් ගණනාවක් ආවරණය වන පරිදි නාවික කේන්ද්‍රස්ථාන 18 ක් ස්ථාපිත කිරීමට සැලසුම්කර තිබේ.

ඒ අනුව ඉන්දියන් සාගරයේ උතුරු,බටහිර හා මධ්‍යම දකුණුදිග පෙදෙස් ආවරණය වන පරිදි පකිස්ථානය,ශ්‍රී ලංකාව හා මියෙන්මාරය මුහුදු සීමා ද ඇතුළත් වන පරිදි මෙම නාවික කේන්ද්‍රස්ථාන ස්ථාපිත කෙරෙනු ඇති බවට විදෙස් පුවත් සේවා සඳහන් කරයි.


උතුරු කොරියාවේ කොන්ජින් වරාය, පැපුවානිව්ගිනියාවේ මොස්බි වරාය,කාම්බෝජියාවේ සිහනවුක්විලේ වරාය,තායිලන්තයේ කො ලන්තා වරාය, මියෙන්මාරයේ සිට්වේ වරාය,බංග්ලාදේශයේ ඩකා වරාය, පකිස්ථානයේ ග්වැඩාර් වරාය, ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය, මාලදිවයින - ශීෂෙල්ස් ආශ්‍රිත ඩ්ජිබූටි වරාය ද යා කරමින් මෙම නාවික කේන්ද්‍රස්ථාන පිහිටුවීමට අපේක්ෂිතය.


අනාගත චීනයේ නාවික බලය හා ඉලක්ක තහවුරුකර ගනු පිණිස උපක්‍රමික අවශ්‍යතා වෙනුවෙන් මෙම නාවික ආරක්ෂක සැලසුම ක්‍රියාත්මක කෙරෙන බව the Namibian පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.



ජනාධිපතිවරණය ජනවාරි 03 හෝ 07 දා?

පැවත්වීමට නියමිත ජනාධිපතිවරණය එළඹෙන ජනවාරි මස 03 වන දින හෝ 07 වන දින පැවැත්වීමට බොහෝ දුරට ඉඩකඩ තිබේ.

රජයේ පාර්ශවයෙන් ජනවාරි මස 03 වන දිනට වැඩි කැමැත්තක් පවත්නා බවත්, මැතිවරණ මහලේකම් කාර්යාලයේ බලධාරීන් ජනවාරි මස 10 වන දිනට වැඩි කැමැත්තක් දක්වන බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.


එසේ වුවද පාප් වහන්සේගේ ආගමනයට දින 3ක් තිබියදී ආරක්ෂක කටයුතු සැලසුම් ආදිය සම්බන්ධයෙන් මතුවන ගැටළු සලකා නීතිය හා සාමය අමාත්‍යංශයේ බලධාරීන් 10 වන දින මැතිවරණය පැවැත්වීම පිළිබඳ නොසතුට පළකර ඇතැයි දැනගන්නට ලැබේ.


මේ හේතුවෙන් ආණ්ඩු පාර්ශවය හා මැතිවරණ මහලේකම් කාර්යාල බලධාරීන් අතරමැදි දිනයක් ලෙස ජනවාරි මස 07 වන දින මැතිවරණය පැවැත්වීම පිළිබඳවද සලකා බලමින් සිටින බව කියැවෙයි.


ඒ අනුව ජනවාරි මස 03 වන දින හෝ 07 වන දින ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බව විශ්වාසදායි ආරංචි මාර්ග සඳහන් කරයි.



ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව රැස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද(19) රැස්වීමට නියමිතව තිබේ.

අද රාත්‍රියේ දී ජනාධිපති මන්දිරයේ දී නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වන බව වාර්තා වෙයි.


ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.


අද මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණයක් පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට පවතියි.


මේ පිළිබද සාකච්ජා කිරීම සඳහා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වන අතර ඊට ප්‍රථම කැබිනට් මණ්ඩල සාකච්ජාවක්ද පැවැත්වීමට නියමිතව තිබේ.


මේ අතර පසුගිය දින වලදී රජයේ මැති ඇමතිවරු ප්‍රකාශ කළේ අද දිනයේ දී බොහෝවිට ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ඇති බවයි.



තේ කෝප්පයක් ගේන්න ගිය අතරේ මිතුරියගේ රත්‍රන් බඩු ටිකට විදලා

හලාවත - විලත්තව ප්‍රදේශයේ පදිංචි මිතුරියගේ නිවසේ අල්මාරියක තිබූ රන් ආභරණ සොරා ගත් බව කියන හලාවත - මැල්පුර පදිංචි කාන්තාවක අත්අඩංගුවට ගැනීමට හලාවත පොලීසියේ අපරාධ විමර්ශන අංශය සමත්වී තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙදරු මවක වූ 36 හැවිරිදි කාන්තාවක බව පොලීසිය පවසයි.


අත්අඩංගුවට ගෙන ඇති සැකකාර කාන්තාව විලත්තව පදිංචි තම මිතුරියගේ නිවසට ගොස් කතා බහ කරමින් සිට ඇති බව සඳහන්ය.


ඒ අතර නිවසට පැමිණි තම මිතුරියට තේ කෝප්පයක් සාදා ගෙන ඒම සදහා ගෙහිමි කාන්තාව මුළුතැන් ගෙට ගොස් තිබේ.


එම කාලය අතරතුර සැකකාර කාන්තාව නිවසේ අල්මාරියක තිබූ රුපියල් 60,000 ක් පමණ වටිනා රන් ආභරණ සොරා ගෙන පලාගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.


තම මිතුරියට තේ කෝප්පයක් ගෙන පැමිණි විට ඇය නොමැති බව දැන ගෙන ඇති කාන්තාව ඒ සම්බන්ධයෙන් සොයා බලන විට සොරකම සම්බන්ධයෙන් දැන ගෙන ඇති බවත්, පසුව ගෙහිමි කාන්තාව විසින් මේ බව හලාවත පොලීසියට දන්වා ඇති බවත් අප වාර්තාකරු කියා සිටියි.


එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ හලාවත පොලීසියේ අපරාධ විමර්ශන‍ අංශයේ නිලධාරීන් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සොරකම් කරන ලද රන් ආභරණ උගස් කරන ලද රිසිට් පත් කීපයක් සොයා ගෙන ඇත.


සැකකාරිය හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


හලාවත මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත බණ්ඩාර කස්තුරිආරච්චි මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අතපත්තු මහතා සහ උප පොලිස් පරීක්ෂිකා මධුභාෂිණී මහත්මිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.



වතු සේවකයා මැරුණාද? මැරුවාද?

හලාවත, වෙහෙරකැලේ, නල්ලදරන් කට්ටුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ප්‍රදේශයේ ඉඩමක සේවය කරමින් සිටි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.


මියගොස් ඇත්තේ වාරියපොළ රන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙකි.


මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පැවසුවේය.



බිරිඳ මරා සැමියාත් එල්ලී මැරෙයි

ඕපනායක, බෝගහකුඹුර , අකරැල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක ඝාතනය කර පසුව ඔහුද ගෙල වැලලාගෙන මියගොස් තිබේ.

අනියම් ප්‍රේම සබඳතාවක් මත ඇතිවු බහින්බස්වීමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය සිදුකරන ලද පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බව සඳහන්ය.


මරණකාරියගේ ස්වාමි පුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකර ඔහු සිය දිවි හානි කර ගෙන ඇති බව පොලිසිය පැවසුවේය.


සියදිවි හානි කර ගෙන ඇත්තේ අකරැල්ල, උඩගම ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි පුද්ගලයෙකි.


ඝාතනයට ලක්වු කාන්තාව 36 වන වියේ පසුවු බව පොලිසිය සඳහන් කළේය.


සිද්ධිය සම්බන්ධයෙන් ඕපනායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



ඒකාධිපති රෙජිමයක් තියෙන්නේ කොහේද?

කොටි හිතවාදී ඩයස්පෝරාවට නැටවිය හැකි දුර්වල පාලකයකු තැනීමට දුෂ්ඨ පාපී බලවේග දරණ උත්සාහයට රටේ ජාතික බලවේගවල ඇතැම් කණ්ඩායම් ද කරගහන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ඉදිකිරීම්,ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මේ සතුරු බලවේග අද කැලේ ගසක් නැසීමට කැලේ ගසක්ම යොදාගනිමින් සිටින බවත්, යුද්ධය ජයග්‍රහණය කර සතියෙන් යුධ හමුදාපතිවරයා බාගත් තානාපති කාර්යාල වලට තව තව අය බාගැනීමට බැරි නැති බවත් අමාත්‍යවරයා කියා සිටියි.


අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රුපියල් මිලියන 1255.5 වියදමින් ඉදි කළ නිවාස 288 කින් සමන්විත මොරටුව අඟුලාන "සයුරු පුර"මහල් නිවාස ව්‍යාපෘතිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පත් කළ අවස්ථාවට සහභාගී වෙමිනි.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.


අද මේ රටට හතුරු කණ්ඩායම්වලට අතිගරු ජනාධිපතිතුමාව පේන්නේ මේ රටට සාමය දිනා දුන් නායකයා විදිහට නොවෙයි.ඒ අයට ජනාධිපතිතුමාව පේන්නේ ඒකාධිපති නායකයෙක් විදියට. ප්‍රජාතන්ත්‍ර විරෝධී නායකයෙක් හැටියට. හදිසි නීතිය තියාගෙන වධකාගාර පවත්වමින් උතුරේ හා දකුණේ තරුණයින් බුරුතු පිටින් මරපු අය අද ප්‍රජාතන්ත්‍රවාදීන් වෙලා තියෙනවා. මේක පුදුම උඩ යට මාරුවීමක්.


හදිසි නීතිය ඉවත් කළ නායකයා ඒකාධිපති වුණේ කොහොමද? ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අහිතකර වගන්ති සංශෝධනය කළ නායකයෙක්, මැතිවරණ ඉල්ලන්න කලින් දෙන නායකයෙක් ඒකාධිපති රෙජිමයක් වුණේ කොහොමද? මේ ඒකාධිපති රෙජිමය කියන පාඨය මුලින්ම ගෙනාවේ කොටි. කොටි ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම අවසන් කළ දිනයට පසුව තමයි දෙමළ ඩයස්පෝරාව රාජපක්ෂ ජනාධිපතිතුමා ඒකාධිපතියෙක්, ඒකාධිපති රෙජිමයක් කියන හංවඩුව ගැහුවේ. දැන් ඒ කොටි පටන්ගත්ත කතාව කොටියාගේ හැංගිච්ච ගජ මිතුරෝ ටික ඔවුන්ගේ ශ්‍රී මුඛයෙන් අද දෙසා වදාරනවා.


යුද්ධ අවසන් වූ දිනයේ සිට අතිගරු ජනාධිපතිතුමාගේ රුව විකෘති කරලා, එතුමාගේ රුව හිට්ලර්ගේ රුවට සමාන අයුරින් හදලා, ඊමේල් හරහා එය ප්‍රචාරය කරලා ලෝකය පුරා මත පතුරවලා, ඒ අයට තමයි උවමණාව තිබුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒකාධිපතියෙක්, ශ්‍රී ලංකාවේ තියෙන්නේ ඒකාධිපති රෙජිමයක් කියන මතය නිර්මාණය කරන්න. ඒවම තමයි අද මේ ඊනියා විරුද්ධ පක්ෂය අතට ගත් සටන්පාඨ බවට පත්වී තියෙන්නේ.ඔවුන්ට දෑ හිතකාමි සටන් පාඨයක් තියෙනවාද ? නැහැ.


ඔවුන් ඒකාධිපති රෙජිමයක් තියනවා කියලා ඔළුවෙන් සංකල්පයක් මවා ගන්නවා. ඊට පස්සේ ඒකාධිපතිත්වය පරද්දන්න කියලා බෙහෙත් හොයනවා.එහෙම ලෙඩක් නැහැ. ඒ කියන්නේ ඒකාධිපති රෙජිමයක් නැහැ. හදිසි නීතිය නැති කරපු රෙජිමයක් අද තියෙන්නේ. ත්‍රස්තවාදය වැළැක්විමේ පනතේ බල තලඅඩු කරපු රෙජිමයක් අද තියෙන්නේ.


ඒකාධිපති රෙජිමය කියන්නේ අර කළුජූලිය කරළා,80 ජූලි වර්ජකයින්ව ගෙදර යවලා, අන්ධයන්ගේ දිනයේදි අන්ධයන්ට ගහලා, හැටදාහක් තරුණයෝ මරලා, වධකාගාර හදලා, බුරුතු පිටින් බෙලි කපලා, ඡන්ද කල් දාලා, මහ මැතිවරණ හකුළලා,ජනමත විචාරණ ගෙනල්ලා තියනවා නම් අන්න ඒකාධිපති රෙජිම. ඒ අංග ලක්ෂණ එකක් වත් නැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනය ඒකාධිපති රෙජිමයක් කියලා මවන්න ඒ අය හදනවා.


එහෙම ඒකාධිපති රෙජිමයක් කියලා එකක් මවනවා. ඒ ඒකාධිපති රෙජිමයෙන් ගොඩ එන්න පියවර කියලා තව පියවර ටිකකුත් හදනවා. එහෙම කරලා නැති ලෙඩකට බෙහෙත් හොයනවා. ඒත් අද වෙනකොට ඒ බෙහෙත් දෙන්න දොස්තර කෙනෙක් නැති වෙලා තියෙනවා. බෙහෙත් තිබුණත් අද දොස්තර කෙනෙක් නැහැ. ඔහොම ගිහින් කොන්දොස්තර කෙනෙක්හරි මේකට කර ගහයි. ගිය පාරත් අර අසරණ යුධ හමුදාපතිතුමා කර ගැහුවා.


මම පසුගිය දාක දුටුවා හිටපු යුධ හමුදාපතිතුමා එතුමාට වෙච්ච දේ හෘදය සාක්ෂියට එකඟව හොඳට කියලා තිබුණා. එතුමා කියනවා වැරදුණාට පස්සේ අද ඉන්න කවුරුවත් පැත්ත පළාතේ නැහැ. ඒ නිසා එහෙම වෙන්න කැමතිනම් විතරක් මේ මරාලේට කර ගහන්න කියලා. අන්න එතුමාගේ මොළේ පෑදිලා. යුද්ධය දිනලා සතියෙන් යුධ හමුදාපතිතුමා බාගන්න මේ තානාපති කාර්යාල වලට පුළුවන් වුණා නම් තව තව අය බාන්න මොකෝ බැරි. ඒ නිසා අපේ වගේ රටවල ස්ථාවරත්වය දිගටම යන්න දෙන්නේ නැති හතුරු බලවේග ලෝකයේ ඉන්නවා.



ඒ අය ගියාට ජනපතිගේ ශක්තිය හීනවෙන්නේ නෑ

ජාතික හෙළ උරුමය ස්වකීය අමාත්‍ය පදවි අතහැරීමෙන් ජනාධිපතිවරයාගේ ශක්තිය හීනවීමක් කිසිසේත්ම සිදුනොවන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි .

අද (18) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


සියලුදෙනාම සමග සහයෝගයෙන් ඒකාබද්ධ වැඩපිළිවෙලක් මත ගමන් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිළිවෙත බවත්, ඒ අනුව ජාතික හෙළ උරුමයේ යෝජනා පිළිබඳවද සලකාබලමින් සිටියදී හදිසියේම ඔවුන් ආණ්ඩුව හැරගිය බවත් අමාත්‍යවරයා කියා සිටියේය.


හෙළ උරුමය විසින් ගෙන එන ලද යෝජනා 35 තුළ ඉතාම වැදගත් යෝජනා ගණනාවක් පැවති බවත්, එහෙත් ඒ පිළිබඳ යම් වැඩපිළිවෙලකට අවතීර්ණවී සිටි බවත් ඔහු සඳහන් කළේය.


කෙසේ වුවද ප්‍රජාතන්ත්‍රවාදී රටක ඔවුන් පිළිබඳ තීරණ ගැනීමට අයිතියක් ඔවුන්ට ඇති බව ද ජී.එල් පීරිස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.



මාතලෙන් සොයාගත් අස්ථි කොටස්වල වාර්තාව මෙන්න

මාතලේ රෝහල් භූමියේ තිබි සොයා ගත් මිනිස් අස්ථි කොටස් 1951 වර්ෂයට පෙර ඒවා බවට හඳුනාගෙන තිබේ.

අදාළ අස්ථි කොටස්වල කාල නිර්ණය කිරීම සම්බන්ධයෙන් වු වාර්තාව අද(18) මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.


එම වාර්තාව මගින් අදාළ අස්ථි කොටස් 1951 වසරට පෙර ඒවා බව ද නිගමනය කර තිබු බව වාර්තා වෙයි.


පසුගිය දා මාතලේ රෝහල් භූමියේ තිබි සොයා ගත් අස්ථි කොටස් පිළිබඳ පරික්ෂණ පැවැත්වීමට ඒවා අමෙරිකාවට යවා තිබුණි.‍


ඒ අනුව අදාළ අස්ථි කොටස් සම්බන්ධයෙන් අමෙරිකානු ආයතනයක් විසින් පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව මෙම කාල නිර්ණය වාර්තාව ප්‍රකාශයට පත්කර තිබේ.


කෙසේ වෙතත් අමෙරිකානු ආයතනය විසින් ඉදිරිපත් කළ වාර්තාව පිළිගත නොහැකි බව අගතියට පත් පාර්ශවය අධිකරණය හමුවේ ප්‍රකාශ කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.


මේ හේතුවෙන් එම අස්ථි කොටස් කිනම් වර්ෂයකට අයත්ද යන්න සම්බන්ධයෙන් වු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දෙසැම්බර් 05 වන දා දක්වා කල් දැමීමට මාතලේ මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු සම්පත් ගමගේ මහතා තීරණය කර තිබේ.



තීරණය දැනුම්දෙයි - චම්පික/ගම්මන්පිල ඉල්ලා අස්වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යධූරයෙන් තමන් අද(18) සිට ඉවත්වන බව පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එසේම බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල මහතාද පළාත් අමාත්‍ය ධූරයෙන් ඉවත්වන බව රණවක මහතා කියා සිටියේ කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදීය.


ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව විසින් ගනු ලැබූ තීරණයකට අනුව මෙම ඉල්ලා අස්වීම සිදුවන බව රණවක මහතා එහිදී සඳහන් කළේය.



මාලකට අදත් ඇප නෑ - අනිත් 6ත් රිමාන්ඩ්

බම්බලපිටියේ රාත්‍රී සමාජ ශාලාවකදී බ්‍රිතාන්‍ය යුවළකට පහරදුන් බවට චෝදනා ලැබ දැනට රිමාන්ඩ් කර සිටින ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහුගේ යහළුවන් සිව්දෙනෙකුද, ඇමති මර්වින්ගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුද ලබන 25 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ අ‍තිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා අද (18) නියෝග කර තිබේ.

අද හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීමට නියමිතව තිබියදී බ්‍රිතාන්‍ය ජාතික යුවළ නොපැමිණ තිබිණ.


ඔවුන්‍ දෙදෙනාගෙන් එක් අයෙකු අසනීප වී රෝහල්ගතව සිටීම ඊට හේතුව යැයි රහස් පොලීසිය අධිකරණයට දැනුම්දී ඇත.


කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ලබන 25 වැනිදාට ඔවුන්ට ද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළ අතර එදිනට ද ඔවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට නොපැමිණියහොත් එය අවලංගු කරන බවද දැනුම්දුන් බව අද දෙරණ වාර්තාකරු පැවසීය.


පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාලකගේ යහළුවන් සිව්දෙනා පෙරේදාත්, මර්වින් ඇමතිවරයාගේ ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනෙකු ඊයේත් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.



සොල්හයිම් ජනපතිට උත්තර බඳියි

නෝර්වේ රාජ්‍ය එල්.ටී.ටී,ඊයට කිසිවිටෙකත් මුදල් හෝ යුධ උපකරණ නොදුන් බවත්, සාම ක්‍රියාදාමය සාර්ථක කර ගැනීම සඳහා එල්.ටී.ටී,ඊ සාම ලේකම් කාර්යාලයට ආර්ථික සහන පමණක් ලබාදුන් බවත්, එය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එවකට අගමැතිවරයා ලෙස දැනුවත්ව සිටි බවත්, නෝර්වේ හිටපු සාම නි‍යෝජිත එරික් සොල්හයිම් පවසයි.

එසේම එල්.ටී.ටී,ඊයත් ශ්‍රී ලංකා රජයත් අතර පැවැති සාමක්‍රියාවලිය ශක්තිමත් කර ගැනීමට තමන් කළ කැපවීම අගමැතිවරයා ලෙස එවකට මහින්ද රාජපක්ෂ මහතාගේ ඇගයීමට ලක්වූ බවද සොල්හයිම් කියයි.


ඔහු මේ බව අවධාරණය කරන්නේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගියදා කුරුණෑගල පැවැති ජනහමුවකදී කළ ප්‍රකාශයකට ප්‍රතිචාර වශයෙනි.


නෝර්වේ විසින් එල්.ටී.ටී,ඊයට මුදල් දුන් බවට ජනපති මහින්ද රාජපක්ෂ මහතා එම ජනහමුවේදී චෝදනා කළ අතර ඊට පිළිතුරු ලෙස නෝර්වේ හිටපු සාම නියෝජිතයා ප්‍රකාශ කර තිබුණේ මැතිවරණය ඉලක්ක කර ජනපති බොරු කියන බවකි.


ජනාධිපතිවරයාගේ එම චෝදනාවට තමන් යළි පිළිතුරු ලබාදෙන බව ට්විටර් පණිවිඩයක් මගින් සොල්හයිම් සඳහන් කර තිබිණ.


ඒ අනූව ජනාධිපතිවරයා විසින් කළ එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ඔහු ඊයේ නිවේදනයක් නිකුත් කර තිබේ.


එම නිවේදනයේ දැක්වෙන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානයට කිසිසේත් මූදල් නොදුන් බවත්, ශ්‍රී ලංකා රජයත් එල්.ටී.ටී,ඊයත් අතර එවකට පැවැති සාම ක්‍රියාවලිය වඩාත් ශක්තිමත් කර ගැනීම සඳහා එල්.ටී.ටී,ඊ සාම ලේකම් කාර්යාලයට ආර්ථික සහන ලබාදුන් බවයි.


මෙය වත්මන් ජනපතිවරයා එවකට අගමැතිවරයා ලෙස දැනුවත්ව සිටි බවත්, සාම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා නෝර්වේ රාජ්‍ය කරන කැපවීම එහිදී ඔහුගේ පැසසුමට ලක්වූ බවත් සොල්හයිම් පෙන්වාදෙයි.


ඒ යටතේ එල්.ටී.ටී,ඊ සාම ලේකම් කාර්යාලයට අවශ්‍ය විදුලි සම්ප්‍රේෂණ උපකරණ ඇතුළු ද්‍රව්‍ය මිලදී ගැනීමට අවශ්‍ය ආර්ථික සහන ලබාදුන් බව හෙතෙම සඳහන් කරයි.


එය කිසිසේත් යුද්ධය සඳහා දුන් මූල්‍යාධාරයක් නොවන බවද ඔහු අවධාරණය කරයි.


එම කටයුතු සිදුකළේ සම්පූර්ණ විනිවිද භාවයකින් යුතුව බවද පවසන සොල්හයිම් මේ ගැන ශ්‍රී ලංකා ආණ්ඩුව දැනුවත්ව සිටි බව ඔහු පවසයි.


විශේෂයෙන් එල්.ටී.ටී,ඊය සමග සාම ක්‍රියාවලිය ගැන මහින්ද රාජපක්ෂ මහතා නෝර්වේ රාජ්‍යයේ කැපවීම අගය කරමින් එම ක්‍රියාවලියේ ප්‍රගතිය ගැන දැනුවත් කරන්නැයි තමන්ට පවසා ඇති අතරම එම කටයුතුවලදී තමාගේ මැදිහත්වීම ඔහු පෞද්ගලිකවම ඇගයීමකට ලක් කළේ යැයිද සොල්හයිම් සිය නිවේදනය මගින් වැඩිදුරටත් කියා සිටියි.



ඌව මහ ඇමතිගේ ආරක්ෂක රියක් අනතුරේ - තිදෙනෙකු මරුට!

ඌව ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයින් ගමන්ගත් ජීප් රථයක් අනතුරට ලක්වීමෙන් ආරක්ෂකයින් ලෙස කටයුතු කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ප්‍රධාන අමාත්‍යවරයාගේ තවත් ආරක්ෂකයින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.


අද (18) අලුයම 1.30 ට පමණ බුත්තල,මහගොඩයාය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.


ප්‍රධාන අමාත්‍යවරයාගේ ආරක්ෂකයින් ගමන්ගත් මෙම ජීප් රථය ලොරියක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



දඹුල්ලේ රෙදිපිළි කඩේදී තරුණියට බලහත්කාරකම් කළ ප්‍රධාන සැකකරුත් බාරවෙලා

දඹුල්ල නගරයේ රෙදිපිළි අලෙවිසැළකදී තරුණියකගේ අඟපසඟ අතගෑබව කියන තරුණයා පොලිසියට බාරවීමෙන් පසු ලබන 24 දක්වා බන්ධනාගාර ගත කර ති‍බේ.

ඊයේ (17)දින මොහු පොලීසියට බාරවීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.


පසුගිය 12 දින දඹුල්ල නගරයේ රෙදිපිළි අලෙවිසැළකදී තරුණියක ඇඳුම් මිලදී ගැනීමට ගොස් සිටියදී වෙළෙඳසැළ තුළදී මෙම සිදුවීම ට ලක්ව ඇත .


පසුව දඹුල්ල නගරය තුළ නොසන්සුන් තාවයක් ඇතිවූ අතර සිද්ධියෙන් එම වෙළඳසැළේ සේවකයන් 5 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගැනුණු අතර ප්‍රධාන සැකකරු පැනගොස් සිටියේය .


මෙසේ බන්ධනාගාර ගත කර ඇත්තේ මරදන්කඩවල පදිංචි මොහොමඩ් පර්ශාද් (30)නමැති විවාහක අයෙකි .



පුතාගේ සිද්ධියට තාත්තාගේ දෙන්නෙකුත් මාට්ටු

බම්බලපිටියේ රාත්‍රී සමාජ ශාලාවකදී බ්‍රිතාන්‍ය යුවළකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමති මර්වින් සිල්වාගේ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කළ ඇමති ආරක්ෂක ඒකකයේ දෙදෙනෙකු ද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ඇමති මර්වින්ගේ පුත් මාලක සිල්වා මේවන විටත් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින අතර ඔහුගේ මිතුරන් බව පැවසෙන සිව්දෙනෙකු ද ඊයේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


මර්වින් සිල්වාගේ ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනා අද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



කුරුඳුවත්තෙත් මදුරුවන් වැඩියි

කොළඹ මහනගර සීමාව තුළ ඩෙංගු මදුරුවන් බෝවීම ඉහළගොස් ඇති ප්‍රදේශ කිහිපයක් හඳුනාගෙන තිබේ.

කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි මහතා ප්‍රකාශ කළේ පසුගිය දෙසතිය තුළ ඩෙංගු රෝගයට ලක්වූ සංඛ්‍යාව ඉහළගොස් ඇති බවයි.


ඩෙංගු මදුරුවන් බෝවිම ඉහළගොස් ඇති ප්‍රදේශ අතර කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයද වන බව ඔහු සඳහන් කළේය.



මාලකගේ තවත් 4ක් අත්අඩංගුවේ

බම්බලපිටියේ රාත්‍රී සමාජ ශාලාවකදී බ්‍රිතාන්‍ය යුවළකට පහරදීමේ සිද්ධියේදී ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා සමග ඊට මැදිහත් වූ බව කියන ව්‍යාපාරිකයෙක්, සූපවේදියෙක්, කොණ්ඩා සැකසුම් ශිල්පියෙක් හා මාලකගේ පුද්ගලික ආරක්ෂකයෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් කැලණිය, පන්නිපිටිය, කුලියාපිටිය හා රාජගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


සැකකරුවන් සිව්දෙනා ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.



ජනපති බොරු කියනවා - සොල්හයිම්

ශ්‍රී ලංකා ආණ්ඩුව සහ එල්.ටී.ටී.ඊ සංවිධානය අතර සාම සාකච්ඡා පැවති සමයේ එල්.ටී.ටී.ඊයට මුදල් ලබා දුන් බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් එල්ල කරන චෝදනා අසත්‍ය බව හිටපු නෝර්වේජියානු සාම නියෝජිත එරික් සොල්හයිම් පවසයි.

ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කර ජනාධිපති මහින්ද රාජපක්ෂ තමාට මේ ආකාරයේ බොරු චෝදනා එල්ල කරන බව එරික් සොල්හයිම් කියා සිටින්නේ යැයි බී.බී.සී සංදේශය අනාවරණය කරයි.


“මැතිවරණය එළඹෙමින් තිබියදී ජනාධිපති රාජපක්ෂ මා පිළිබඳ බොරු කියනවා. මම හෙට සත්‍ය හෙළි කරනවා” යනුවෙන් හිටපු සාම නියෝජිතවරයා ට්විටර් පණිවුඩයක සඳහන් කර ඇත.


“එයාලා සල්ලි දුන්නා ගිහිල්ලා. නොර්වේ ආණ්ඩුව මේ ගැන පරීක්ෂණ කරන්න ඕනි හරියට නම්. කොටි ත්‍රස්තවාදීන්ට සල්ලි ගෙනහින් දුන්නා. ඒවාට සාක්කි අපි ගාවත් තියෙනවා” යනුවෙන් කුරුණෑගල පැවති ජනහමුවකදී පැමිණ සිටි ජනතාව අමතමින් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයකට එරික් සොල්හයිම් මෙම ප්‍රතිචාරය දක්වා තිබේ.


එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීම කළ නොහැකි බව හිටපු නෝර්වේජියානු සාම නියෝජිතවරයා තමාට පැවසූ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ එම උත්සවයේදී වැඩිදුරටත් කියා ඇත.


එරික් සොල්හයිම් 1999 සිට 2006 වසර දක්වා ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු සාම නියෝජිතවරයා වශයෙන් කටයුතු කරන ලදී.


ශ්‍රී ලංකාවේ සිදු වූ බවට චෝදනා නැගෙන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ඕනෑම ජාත්‍යන්තර විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සාක්ෂි ලබාදීමට තමා ඉදිරිපත් වන බව එරික් සොල්හයිම් හිටපු නෝර්වේජියානු සාමනියෝජිතවරයා මීට ඉහතදී පවසා ඇතැයිද බී.බී.සී සංදේශය අනාවරණය කරයි.


ඒ අනූව ජනාධිපති මහින්ද රාජපක්ෂ සිදු කළ චෝදනා සම්බන්ධයෙන් සඳුදා අදහස් දක්වන බවද හිටපු නෝර්වේජියානු සාම නියෝජිත එරික් සොල්හයිම් සංදේශයට කියා තිබේ.



අවසන් තරගයත් ශ්‍රී ලංකාව පරාදයි

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වුණු තරඟය ජයග‍්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශී ලංකා කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 286ක් ලබා ගත්තේය.


එහිදි විශිෂ්ඨ ඉනිමක යෙදුණු ඇන්ජලෝ මැතිව්ස් පළමුවන ශතකය වාර්තා කිරීමට සමත් විය.


පිළිතුරු ඉනිම සදහා පිටියට පිවිසි ඉන්දි කණ්ඩායම පන්දුවාර 48.4 දී ලකුණු 288ක් හිමිකර ගනිමින් තරගය ජයගැනීමට සමත් විය.


එහිදී ඉතා අගනා ඉනිමක් දියත් කරමින් විරට් කෝලි නොදැවී ලකුණු 139ක් ගබා ගත්තේය.


1984 කාලයට පසු ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියක් පරාජයට පත් වු පළමු අවස්ථාව මෙය වෙයි.



කසුරි නික්ම යයි

ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙකු මෙන්ම ලේඛකයෙකු වන කරුණාදාස සූරියආරච්චි මහතා ජීවිතක්ෂයට පත්ව තිබේ.

පසුගිය 30 වන දින නිවසේදී ඇදවැටීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති ඔහු අද සවස 5.00 ට පමණ අවසන් හුස්ම හෙළූ බව පවුලේ ආරංචි මාර්ග පවසයි.


අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.


1948 මැයි මස 12 වන දින උපත ලබා ඇති ඔහු මිය යන විට 66 වන වියේ පසුවිය.


නවලිය,සිළුමිණ ආදී පුවත්පත්වල ප්‍රධාන කර්තෘ ධූරය දැරූ ඔහු දිවයින ඉරිදා සංග්‍රහයෙහි පළවූ 'කසුරිගෛ කොලම"නිර්මාතෘවරයා ද,"වටරවුම"සංස්කාරකවරයාද විය.


හදවතට මුවාවෙන්,නෝමා සහ සෝමා,වටරවුම,කසුරිගෙ කොලම,අපේ කාලයේ කුමාරියකගේ කතාවක්,කන්ද පාමුල,වෑකන්දේ ගීතය,අන්ධකාර තාරකාව,කළු දෝංකාරය,රතු ඉද්ද,මම තවම යමි ආදී කෘති ගණනාවක් රචනා කොට තිබේ.



ශ්‍රී ලංකාව ලකුණු 286යි - මැතිව්ස් පළමු ශතකය වාර්තා කරයි

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 286ක් ලබා ගැනීමට සමත් විය.

ඒ පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 8ක් දැවිගොස් තිබියදීය.


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සිය පළමුවන එක්දින ශතකය වාර්තා කරමින් ලකුණු 139 ක් ලබා ගත්තේය.


ඒ පන්දු 116ක් තුළදීය.



විධායකය අනුමත කරපු අය දැන් එපා කියනවා

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට උත්සාහ කරන පිරිස් එය අනුමත කළ පුද්ගලයින්ම බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

කොළඹ අද(16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කර සිටියේය.


අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විපක්ෂයට සටන් පාඨයක් අවශ්‍ය බැවින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව ප්‍රකාශ පළ කරන බවයි.


ව්‍යවස්ථාවක් වෙනස් කිරීම කෙටි කාලයක් තුළ සිදුකළ නොහැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.



දඩ මුදල් ගෙවන අලුත්ම ක්‍රමය මෙන්න

රථ වාහන වැරදි සඳහා වන දඩ මුදල් ජංගම දුරකථන හා ක්‍රෙඩිට් කාඩ් මගින් ගෙවීමේ ක්‍රියාවලියක් හඳුන්වාදීමට පොලීසිය තීරණය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ එහි පළමු අදියර ලෙස ජංගම දුරකථන මගින් මුදල් ගෙවීමේ ක්‍රියාවලිය හඳුන්වාදෙන බවයි.


කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අජිත් රෝහණ මහතා මෙම අදහස් පල කළේය.


අදාළ වැඩසටහන මේ වසර අවසානයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.


ඕනෑම ජංගම දුරකථන ජාලයකින් අදාළ දඩ මුදල් ගෙවීම සඳහා අවස්ථාව සලසා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.


රථ වාහන වැරදි සම්බන්ධයෙන් දඩ මුදල් ගෙවීමේ දී රියදුරන් මුහුණදෙන දුෂ්කරතාව සැලකිල්ලට ගනිමින් මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.



පුත්තලම - මන්නාරම මාර්ගය තාවකාලිකව වසාදමයි

පුත්තලම - මන්නාරම මාර්ගය එළුවන්කුලම ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දමා තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ රාජාංගණය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ ඇති වු ජල ගැලීම් තත්ත්වයත් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.


මේ දිනවල දිවයිනට ඇද හැලෙන වර්ෂා තත්ත්වයත් සමඟ රාජාංගණය ජලාශයේ ජල මට්ටම ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ.



ලාංකික සරණාගතයින් ඉන්දියාවේදී උපවාසයක

ඉන්දියාවේ තිරුචි බන්ධනාගාරයේ විශේෂ කඳවුරක රඳවා සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් පිරිසක් උපවාසයක් ආරම්භ කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඊයේ දිනයේ සිට මෙම පිරිස ආහාර වර්ජනය කරමින් මෙම උපවාසය සිදුකරන බවයි.


තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා කඩිනමින් විභාග කරන ලෙස බලකරමින් ඔවුන් උපවාසයේ නිරත වන බව සඳහන් වෙයි.


නීති විරෝධීව ඉන්දියාවට ඇතුළු වීම සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහයෝගය ලබාදීම යන චෝදනා මොවුන්ට එරෙහිව එල්ල වී ඇති බව වාර්තා වෙයි.


අදාළ කඳවුරේ සිටින මලයාසියානු ජාතිකයෙකු ද මෙම උපවාසයට එක්ව සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.


තමාට එරෙහි චෝදනා කඩිනමින් විභාග කරන තෙක් උපවාසය අත්නොහරින බව උපවාසකරුවන් පවසා ඇත.