මදුරන්කුලියේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක්

මදුරන්කුලිය - ජයරාජ පුර ප්‍රදේශයේ නිවසකට (22) වැනිදා අළුයම අත් බෝම්බ ප්‍රහාරයක් එල්ලවී ඇති බව මුන්දලම පොලීසිය කියයි.

අළුයම 3.00 ට පමණ එල්ලවී ඇති මෙම අත් බෝම්බ ප්‍රහාරයෙන් නිවසේ සිටි කිසිවෙකුට හානි සිදුවී නොමැත.


නමුත් නිවසේ බිත්තිවලට පමණක් හානි සිදුවී ඇති බව පොලීසිය කියයි.


අළුයම කාලයේ කිසියම් දෙදෙනෙකු තම නිවස ඉදිරිපිට සිට දිව යනවා තමන් දුටු බවත්,ඒ සමගම පිපුරුම් ශබ්දය ඇසුණු බවත් නිවස හිමිකාරිය වන එච්.ඒ.නිලන්ති යන අය මුන්දලම පොලීසියට පවසා ඇත.


පැමිණිලිකාරියගේ ස්වාමි පුරුෂයා සමග ආරවුලක් ඇති කරගෙන සිටි අයෙකුව මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.


මෙම අත් බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම එම සිද්ධියට සම්බන්ධ දැයි මුන්දලම පොලීසිය පරීක්ෂණ කර ගෙන යයි.


නිවසට එල්ල කර ඇත්තේ විදේශීය රටක නිපදවන ලද අත්බෝම්බයක්ද,මෙරට නිපදවන ලද අත් බෝම්බයක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැති බව පොලීසිය කියයි.


මුන්දලම පොලිස් ස්ථානාධිපති ලලිත් සදසිරි මහතා ඇතුළු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.



Post a Comment